17 July 2012

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය 2012


මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ජූලි 19 වෙනි ගුරු දින පෙ.ව. 10 පසුවී විනාඩි 07ට නැගෙනහිර දිශාභිමුඛව සිව් දේවාලයන් ප්‍රධානකොට ඇති සියලූ විහාර, දේවාලයන්හි කප් සිටුවීම සිදුවේ.

කප් සිටුවීමෙන් පසු දේවාල පෙරහැර ජූලි 22වනදා දක්වාත් ප්‍රථම කුඹුල් පෙරහැර ජූලි 23ත් වීදි සංචාරය කිරීමට නියමිතය. ප්‍රථම රන්දෝලි පෙරහැර ජූලි 28 දින වීදි සංචාරය කෙරෙන අතර අවසන් රන්දෝලි පෙරහැර නිකිණි පුර ‍පසළොස්වක පොහෝ දින එනම් ලබන අගෝස්තු 01 වෙනිදා වීදි සංචාරය කෙරේ.

කුඹල් පෙරහැර    
            
ජුලි මස 23 දින
රාත්‍රී
7 පසුවී විනාඩි 16ට දළදා වීදිය,ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාර ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

ජුලි මස 24 දින
රාත්‍රී
7 පසුවී විනාඩි 46ට දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

ජුලි මස
25 දින
රාත්‍රි
7 පසුවී විනාඩි 52ට දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

ජුලි මස
26 දින
රාත්‍රී
8 පසුවී විනාඩි 17ට දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

ජුලි මස
27 දින
රාත්‍රි
8 පසුවී විනාඩි 06ට දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.


රන්දෝලි පෙරහැර

2012
ජුලි මස 28 දින
රාත්‍රී 07 පසුවී විනාඩි 32  ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර සමග  දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය පන්සල පාර ඉහළට පැමිණ දේවවීදිය, කොළඹ වීදිය, ඊ.එල්.සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, රජවීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

ජුලි මස 29 වන දින
රාත්‍රී
6 පසුවී විනාඩි 50ට ඩී.එස්. සේනානායක වීදිය, ශ්‍රීමත් ඛෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

ජුලි මස 30 වන දින
රාත්‍රි
7 පසුවී විනාඩි 27ට දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කොළඹ වීදිය, කුමාර වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

ජුලි මස
31 වන දින
රාත්‍රී
7 පසුවී විනාඩි 50ට දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝතු මස
  01 දින
රාත්‍රි
8 පසුවී විනාඩි 24ට යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.


දියකැපුම් පෙරහැර

2012
අගොස්තු මස 01 වන දින රාත්‍රි 1 පසුවී 43ට දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගෙඩිගේ විහාරයට ගොස් පිරිත් ප්‍රකාරව දළදා කරඩුව එහි තැන්පත් කොට සිව්දේවාලයන්හි පෙරහැර ආපසු දේවාලවලට පැමිණ දේවපුජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පුජාව ඉටු කිරීම.


දවල් පෙරහැර

අගෝස්තු මස 02 දින
දවල් 11 පසුවී විනාඩි 55ට ගණදෙවි කෝවිලෙන් පෙරහැර පිටත්ව  කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කන්දේ වීදිය ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ මංසන්ධියට පැමිණ එදින සවස 1 පසුවී විනාඩි 18 ගෙඩිගේ විහාරයෙන් පිටත්ව ඩී.එස්. සේනානායක  පන්සල පාර දේව වීදියෙන් රජවීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණකොට සවස 3 පසුවී විනාඩි 42ට වයඹ බලා ගෙවදීම සුභවේ.

දවල් පෙරහැර පැවැත්වීමෙන් පසු 2012 වසරේ මහනුවර ඇසළ මංගල්‍යය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  නිමාවට පත් වේ.



25 June 2012

ඉංග්‍රීසීන් විසින් අල්ලාගත් මහනුවර නගරය පැය දහයකින් යළිත් සිංහලුන් අතට..෴

රණකාමිත්වය සිංහලුන්ට කාවැදී තිබුණේ අද ඊයේ නොව විජය කුමරු ලක්‌දිවට ගොඩබට අවධියේ සිටමය. වංශකථාවන්ට අනුව මහ රෑ මැදියමේ යුදවදින රටක්‌ තිබුණේ කොහිද? ඒ මේ අපේ ශ්‍රී ලංකාවයි. විජය රජුගේ පිරිස හා අපේ කුවේණි කුමරියගේ පිරිස අතර සටන් ඇවිළුණේ මහ රෑ ජාමේය. ඒ අපේ ඉතිහාසයේ රසැති තොරතුරුය.

අදින් වසර දෙසීයකට පෙර සිදුවූ මෙම ඉංග්‍රීසි සිංහල ගැටුම එදා අපේ රටේ මහත් ආන්දොaලනයට ලක්‌වූ බව නම් සැබෑවකි. සිංහලයන් පිළිබඳව වැරදි ලෙස වටහාගත් ඉංග්‍රීසීන් අමුඩය ගැසූ සිංහලයන්ගෙන් බඩපුරා ඉල්ලාගෙන කෑවේ ඉතා හොඳහැටි මතක හිටින්නටය. එහෙත් අපි ඒ ගැන ආඩම්බර ලෙසින් කතා නොකරන්නේ කුරහන්වලින් යෑපුණ අපේ වීර සිංහලයෝ මස්‌කන කලිසම් අඳින සුද්දන්ව පැරදූ නිසාදැයි සිතේ· නමුත් අප තවමත් භාවිතයට ගන්නේ සුද්දන් විසින් ලියාදුන් ඉතිහාසය නිසා එහි වරදක්‌ දකින්නටද නැත. 1803 වසර ඉංග්‍රීසීන්ට තදියම් වසරක්‌ විය. මක්‌නිසාද යත්, පෙරදිග පාලනය කළ කොම්පැණිකාරයන් මෙහි එවූ ආණ්‌ඩුකාරවරුන්ට කීවේ වහා දෙකින් එකක්‌ බේරාගන්නා ලෙසයි. එක්‌කෝ යටත් විජිතවාදය නැතහොත් රට අතහැරීම. මින් ඉංග්‍රීසින් මුල්කොට සලකන ලද්දේ කෙසේ හෝ උප්පරවැට්‌ටි යොදා අපේ රට අල්ලාගැනීමත්, ඊට පසු රිසිසේ රටේ සම්පත් භුක්‌ති විඳීමත්ය.

"පෙඩ්රික්‌ නෝර්ත්" ආණ්‌ඩුකරු එනතුරු මෙහි සිටි සියලු ඉංග්‍රීසි ප්‍රධානීන් මේ රට ගැන දැන සිටියේ තැප්‍රොබේන් නම්වූ සියලු සම්පත් උපදින පෙරදිග මුතු ඇටය ලෙසිනි. ඉතින් එයට ආශා නොකරන්නේ කව්රුන්ද? එම සම්පත් බහුල ලෙස ලබාගන්නට අකමැති වන්නේ මොන මෝඩයාද? මේ කල්පනා සිහියට ගත් ඉංග්‍රීසි පාලකයන් වහ වහා රට යටත්කොට ගැනීමට ඉව ඇල්ලූ අතර අපේ සිංහල පාවාදෙන්නන්ද ඊට රිටි බැඳ ඉනිමං තනා දුන්හ. 1803 දී සිදුවූයේද එයමයි· නමුත් සිංහල රටේ සිටි එකම පාලකයා වූ රජු මේ එකද පුද්ගලයෙක්‌ කෙරෙහිවත් විශ්වාසය තබා නොගත්තේ දියරෙද්දෙන් බෙල්ල කපනවුන් අදමෙන් එදත් සිටි නිසාය. 1798 දී ලංකාවේ ආණ්‌ඩුකරු ලෙසින් පත්ව ආ පෙඩ්රික්‌ නෝර්ත් සිංහල රදල ප්‍රධානීන් තම වසඟයට ගනිමින් උඩරට යටත්කර ගැනීම සඳහා වසර කීපයක්‌ම අඩයාලම් දැමුවේ තම ශූර චරපුරුෂ සේවයද යොදවා ගනිමිනි. නමුත් 1815 දී සිදුවූ මහා පාවාදීම අත ළඟට ලංකරගැනීමට ඔහු සමත්වූයේ නැත. කිසිදු දැන්වීමකින් තොරව හදිසියේ සිදුකළ මෙම පහරදීම නිසා අපේ උඩරට ජනතාවට සිදුවූයේ හෙයියම්මාරුවක්‌ පමණි. එසේ කියන්නේ එදා සිංහලුන්ගේ කපටිකම තේරුම්ගත් ඉංග්‍රීසින් ඊට පසුව එවැනි ගල් මෝඩකම් කිරීමට කිසිවිටකත් පෙළඹුණේ නැති නිසාය. සුද්දන්ට එම සටනේදී වැරදුණ තැන් කීපයක්‌ විය. එකක්‌ නම් මේ රටේ මාග_ පද්ධති උන්ට ඕනෑ සේ ලෙහෙසි පහසු ලෙසින් නොතිබීමයි. අනෙක්‌ කරුණ අපේ රටේ ඇති අව් වැසි කාලගුණ රටා පිළිබඳ හරි අවබෝධයක්‌ නොමැතිකමයි. මේ හැමටමත් වඩා සිංහලයන්ගේ කපටි ශූර බුද්ධිය ඔවුන්ට තේරුම්ගත නොහැකිවීමයි. මේ පිළිබඳව රොබට්‌ නොක්‌ස්‌ ද අදහස්‌ පළකර ඇත. එයින් කියෑවෙන්නේ සිංහලයන් සතු ශක්‌තිය හා ශූර වීර ක්‍රියා පිළිබඳවයි. 1803 පෙබරවාරි මාසයේදී ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරිවරයා වශයෙන් ආණ්‌ඩුකාර පෙඩ්රික්‌ නෝර්ත් තම හමුදා සේනාංකවලට අණ දුන්නේ තුන් පැත්තකින් මහනුවර නගරය වටලා පහර දෙන ලෙසත් සිංහල රජු හැකිනම් පණපිටින් අල්ලාගන්නා ලෙසත් නැතහොත් සමූල ඝාතනයෙන් මුළු කන්දඋඩරට යටත් කරන ලෙසත්ය. නමුත් අපේ වීරෝදාර සිංහල රණවිරුවන් කල්තියා දැනගත් මෙම "ධවල කුමන්ත්‍රණය" පරදවාලීමට සමත් වූයේ එකාමෙන් කටයුතු කිරීම නිසා බව අපූරුවට ඉතිහාසයේ ලියෑවී ඇත. අනුන්ගේ කතාවලට හොඳට ඇහුම්කන්දීමට සමත් සිංහලයෝ සියලු උප්පරවැට්‌ටි යොදා තම මවුබිමේ ජයග්‍රහණය වෙනුවෙන් එසේ කැප වූ අතර මෑතදී ද එම කැපවීම අපි ඉතා හොඳින් දුටුවෙමු. එදා මහනුවර ඉංග්‍රීසීන්ගෙන් බේරාගත් ඒ රණවිරුවන්ගේ "මුණුබුරන්" මේ ඊළාම් සටන දිනීමට ද හවුල් වන්නට ඇත. ඒ සිංහල රටේ ඇති සම්භාව්‍යත්වයයි.

1803 පෙබරවාරි 20 වැනිදා උඩරට නගරය තම යටතට ගත් ඉංග්‍රීසි හමුදා මෝසම් වැසි සමයේත් අසනි වැසි සමයේත් අසීරුවෙන් කල් ගෙවූ අතර නුහුරු නුපුරුදු පරිසරයක ඔවුන් කල් ගෙව්වේ කුසීතකමෙන් යුතුවය. මේ කාලය තුළ අවට ගම්වල ඉතුරු වූ ගව මඩුවක්‌, කුකුල් කොටුවක්‌ පැහැරගත් ඔවුන් එයින් සෑහීමට පත්විය. නමුත් නගරය අතහැර ගිය රදල ප්‍රධානීන් ඇතුළු රටට හිතවත් පිරිස්‌ දිවා රාත්‍රි නොනිදා කතිකා කළේ සුද්දන් උඩරටින් පන්නා දමන අයුරුය. ඒ දිනය ළඟාවිය. 1803 ජුනි මස 24 දා හදිසියේ පාත් වූ සිංහල රණවිරු කුඩා කණ්‌ඩායම් ඉංග්‍රීසීන්ට හතරවටින් වටලා පහර දෙන්නට විය. කණ්‌ඩායම්වල පිරිස්‌ ක්‍ෂණයකින් වැඩිවූයේ බලා සිටියදීමය. සන්නාහ සන්නද්ධ පිරිස්‌ ද සිටි අතර අපේ සමහර වීර සෙබළුන් අත වූයේ කඩුව නැත්නම් දෙපැත්තම කපා හෙළිය හැකි ලන්සයයි.

ජනප්‍රවාදවල කියෑවෙන පරිදි රජුට හිතවත් බිම්තැන්නේ හා බිංගොඩ වැදි පිරිස්‌ ද දුනුවායන් මෙන් මේ යුද්ධයට සහයෝගය දුන් බව කියෑවේ. මනා ලෙස පුහුණුව ලත් ඉලක්‌කයට වෙඩි තැබිය හැකි "ලෙෆ් රයිට්‌" යනුවෙන් අණදෙන හමුදා භට කණ්‌ඩ කිහිපයක්‌ පැය දහයක්‌ වැනි සුළු කාලයකදී බඩ පුරා කෑවේ අපේ සිංහල කුරක්‌කන් කන කොල්ලන් අතිනි.

ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී "මේජර් ඩේව්" ලඡ්ජාව පසෙක තබා ජීවිත හානි වළක්‌වා ගැනීම පිණිස වහා සුදුකොඩි එසවීමට අණකරන ලද අතර එදා මුළු මහනුවර නගරයම මගුල් ගෙදරක්‌ මෙන් විය. මෙම සටනට සැරසුණ ඉංග්‍රීසි හමුදාව මහනුවර අවරෝධනය කිරීම සඳහා යොදාගත්තේ මහඔයේ දකුණු ඉවුර ආශ්‍රිත මිටියාවත් පෙදෙස්‌ තම රැක්‌ම සඳහා යොදා ගනිමිනි. ආරක්‍ෂාවට කේළාම් කිවූ සිංහල රදල පිරිස්‌ සහයෝගය දක්‌වන ලදී. බහුතරයක්‌ සිංහල පිරිස්‌ සුද්දන්ට අකමැති වූහ.

පළමුව දිවුලපිටියට ආසන්නයේත් (බඩල්ගම) දෙවනුව දඹදෙණියට ආසන්නයේත් (මැටියගනේ) කඳවුරු දෙකක්‌ ඉදිකරන ලද්දේ ඉංග්‍රීසි හමුදාවන්ට පහසුකම් සැපයීම පිණිසය. කොළඹින් පිටත් වූ දෙදහසක තරම් විශාල සේනාවකට මෙම කඳවුරුවල ආහාර පාන ගබඩා කර තබන ලදී. රාජකීය 51 සේනාංකය හා රාජකීය 19 වන සේනාංක ඊට අයිති විය. මීට අමතරව ගෝව ආදී ප්‍රදේශවලින් ගෙනෙන ලද සිපයි පිරිස්‌ද මීට අයත් විය. මෙම හමුදා මහනුවර වටකොට 20 වැනිදා අල්ලාගත් අතර ඒ වන විට කිසිවෙක්‌ නුවර සිටියේ නැත. මෙවැනි දෑ හුරු පුරුදු සිංහලයෝ ගම්බිම් වනසා කැලෑ වැදුණේ නියමිත කාලයේදී පහර දීමටය. ඒ අතරතුර ඉංග්‍රීසීන් අතරමඟ බිහි කළ ආහාර කඳවුරුවලට ද පහරදීමට සිංහලුන් කටයුතු යෙදුවේ ඉතා තීක්‍ෂණ ලෙසය. මේ ඉව වැටුණ ඉංග්‍රීසීන් එම කඳවුරු ද ඉවත් කරගති. ෂෂ රාජසිංහ රජුගේ බිසවගේ සොයුරෙක්‌ රජකමේ තැබූ ඉංග්‍රීසීන් පාළුගෙයි වළං බිඳින්නට පටන්ගත් අතර හඟුරන්කෙත "ගලඋඩ" නමැති ස්‌ථානයේ සැඟව ගත් රජු තම හිතවත් සිංහල ප්‍රධානීන් සමඟ කුමන්ත්‍රණ කළේ යළිත් මහනුවරින් ඉංග්‍රීසීන් පන්නා දමන අයුරු ගැනය. වැසි සමය ආරම්භ වීමත් සමඟම මාර්තු මස 13 වැනිදා පිළිමතලව්වේගේ ඉල්ලීම මත රජු ඇල්ලීමට විශේෂ හමුදාවක්‌ කර්නල් ලොග් යටතේ හා කර්නල් බේලි යටතේ හඟුරන්කෙතට යවන ලදී. 14 වැනිදා පස්‌වරුවේ හඟුරන්කෙත යටත් කරගත්ත ද රජු ඒ වන විට එහි නොසිටියේය.

සිංහල ජනයා රජු වසංකර සඟවා සියලු පහසුකම් ඇතිව වෙනත් තැනකට මාරු කළේ ඉංග්‍රීසීන් අතරම සිටි සිංහල චරපුරුෂයන් ගේ අවවාද මතය. මෙය පිළිමතලව්වේට මහත් මදිකමක්‌ වූ අතර ඉංග්‍රීසි හමුදාවට ආපසු හැරී එන්නට සිදුවිය. ඒ හිස්‌ අතින්මය.

මෙහිදී උපක්‍රමශීලී වූ රජු අපූරු නිවේදනයක්‌ කළේය. ඒ ජීවිතක්‍ෂයට පත්කරන සුදු ජාතික හේවා හිසකට රුපියල් දහයක්‌ හා කළු හේවා හිසකට රු. 5 ක්‌ තෑගි වශයෙන් පිරිනමන බවකි. සිංහල තරුණ සෙබළ ගැටවුන්ට මේ නිවේදනය රසවත් විය. තැන තැන කොටුකරගත් ඉංග්‍රීසි හේවායන් ද කුලී හෙවායන් ද ගරිල්ලා ප්‍රහාරවලින් මියගියේ ඊට පසුය. නොදන්නා ඝාතකයන් අතින් මියගිය සුදු ජාතික හේවා මළසිරුරු තැන තැන විය. මෙය නොදත් ඉංග්‍රීසි හමුදා කොටු තුළම සිරවී සිටි අතර වැසි සමයේ මදුරු වසංගතයට ද මුහුණ දුනි.

මාර්තු, අප්‍රේල්, මැයි අතර කාලය තුළ බොහෝ ඉංග්‍රීසි හේවායෝ මියගියේ වසංගත රෝග නිසාය. කොළඹට ඒමේ ගමන් අපහසුව තවත් බරපතළ අහිතකර තත්ත්වයක්‌ උදාකළේය. මේ සියල්ල විඳ දරාගත් ෆෙඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකරු තම මෝඩකම මොහොතකටවත් ප්‍රදර්ශනය වන්නට ඉඩ දුන්නේ නැත. මේ කටයුතු කාරණා සිදුවුණ අතර නැවත තමන් විsසින් පත්කළ රාජ අනුප්‍රාප්තික මුත්තුසාමි රජකමින් පහකර මැක්‌ඩෝවල්ගේ එකඟතා මත කුඩා හමුදාවක්‌ නුවර නතර කර වැඩි හමුදා පිරිස්‌ ආපසු කොළඹට හා ත්‍රිකුණාමලයට යවන ලද බැව් කියෑවේ. මේ හමුදා පිරිස්‌වලට ද මගදී ප්‍රහාර එල්ල වූයේ සිංහල ගරිල්ලා සටන්කරුවන් අතිනි. රජු අල්ලාගැනීමේ අදහස්‌ අත්නොහැරි ඉංග්‍රීසි ප්‍රධානීන් යළිත් 1803 ජුනි 13 වැනි දින "ඩේවිට" වහාම හඟුරන්කෙත ප්‍රදේශය වටලා රජු අල්ලා ගන්නා ලෙස නියෝග දුන්නේය. නමුත් ඒ වන විට පරිසරය ඊට යෝග්‍ය නොවන නිසා එය අපහසු බව ඩේව් කොළඹට දැන්වූ අතර අතිරේක හමුදා අවි සහ ආහාර වැඩි ප්‍රමාණයක්‌ එවන ලෙස ද දැන්වීය.

කොළඹින් යෑවු පණිවුඩයට අනුව ජුනි මස 26 වැනි දින ඒ සියල්ල ලබාදෙන බවට දැනුම් දුනි. සිංහල චරපුරුෂ සේවයේ දැන්වීම්වලට අනුව 26 වැනිදාට කලින් සිංහල හමුදා සියලු තන්හි රැස්‌ වී අවසන් තීන්දුවකට එළඹි අතර සිංහලයන්ගේ වාසියට හේතු වූ ඉංග්‍රීසි හමුදාවේ මැලේ භට පිරිසක්‌ සිංහල සේනාවන්ට සහය දීමට එකතු විය. ඒ සඳහා ආචාර වෙඩි මුර ද පැවැත්විණි. ගම හැර කැලෑ වැදුණ සිංහල හමුදා ජුනි 23 මධ්‍යම රාත්‍රිය වන විට තමන් සතු සුළු අවි හා වෙඩි බෙහෙත් ආදිය ද රැගෙන නගරය වට කළේය. පුංචි පුංචි කණ්‌ඩායම් වශයෙන් ගොනු වූ මෙම සිංහල හේවා පිරිස්‌ තමන්ට අණ ලැබෙනතුරු ඉවසා සිටියේ දෙකෙන් එකක්‌ බේරාගැනීමටය.

ගලගෙදර හා ගිරාගම ඉංග්‍රීසි අණුකණ්‌ඩවලට පහරදුන් සිංහලයෝ ඒවායේ ආයුධ පැහැරගත්තේ ඉංග්‍රීසීන් මරා දමමින්ය. හදිසි පණිවුඩ හුවමාරුවක්‌ නැත. මහවැලි ගඟ පිටාර ගලා ඇත. ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඩේවිට තරු විසිවුණේ ජුනි 24 වැනිදා අලුයම 4 වන විටය. රජමාළිගය, දළදා මාළිගය, නාථදේවාලය ආදී ප්‍රදේශ වසා සිටි සිංහල හමුදාව ඉංග්‍රීසීන්ගේ ගතේ හිරිගඩු නැංවුයේ මරණයේ සටහන ඉදිරියේ ඇඳී ඇති බැවිනි. සිංහලයෝ එකා මෙන් සටනට වැදුණාහ.

නගරය අත්හැර පලාගිය සිංහලයන් ආයුධ සන්නද්ධ වූයේ කෙසේදැයි ඉංග්‍රීසීන් තුළ මවිතය රජ කරවීය. 24 වැනිදා පස්‌වරු 2.00 වන විට මේජර් ඩේවි සුදු කොඩි ඔසවා පරාජය පිළිගති. මහනුවර සිංහලයන් දිනාගත් පසු ශ්‍රී වික්‍රම රජු නියෝග කළේ මුත්තුසාමි තමන්ට භාරදෙන ලෙසය. මීට එකඟ නොවූ ඩේවි ඇතුළු ඉංග්‍රීසි නිලධාරීන් සිරභාරයට ගත් රජු ඔවුන් සිරකරුවන් ලෙස සිරගත කළ අතර මුත්තුසාමි හා ඔහුගේ ඥතීන් වන අටදෙනෙක්‌ හිස ගසා මරණ වධයට පත්කළේ රාජාඥව අනුවය.

ඉංග්‍රීසීන්ට උඩරට පෙදෙස්‌වලදී ආගන්තුක සත්කාර ප්‍රදානය කළ සිංහලයන්ට ද රජුගෙන් දඬුවම් ලැබිණි. ඒ ජාතියට එරෙහිවීමේ වරද නිසාය. ඒ ගැන ජනප්‍රවාදවල අලංකාර තොරතුරු සටහන්ව ඇත. කෙසේ වෙතත් මෙම 1803 හටන සිංහලයන් එක මතයක සිට එකාවන්ව දිනූ සටනකි. එය අපේ වංශ කතාවේ අමරණීය සිහිවටනයකි 1948 පෙබරවාරි 4 ට එන්නට පෙර 1803 පෙබරවාරි 20 වැනි දින සිහිපත් කළ යුතුය.

  

උපුටා ගැනීම - සිංහලයා
ධර්මරත්න තෙන්නකෝන්

දළදා වහන්සේ අපට ලැබුණු හැටි ෴

ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවිය පසු කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ සල්උයනේ සඳුන් දරසෑය මත සිරුර ආදාහනය කළ පසු උන්වහන්සේගේ දැවෙන සොහොනට අනුගාමික දහසක්‌ දෙනා රන්, රිදී, මුතු, මැණික්‌ ආදී ආභරණ දහස්‌ගණන් විසිකළේ වාවාගත නුහුණු ශෝකය නිසාය. එම රන් රුවන් උණුවී නිර්මාණය වුනණදඹරන්වලින් හැදුවා යයි කියන පෙති පිළිම අදත් තැනින්තැන පූජාවස්‌තූන් ලෙසින් හමුවේ. ඒ බුද්ධ පරිනිර්වාණය පිළිබඳ පුරාවෘතවලින් දැක්‌වෙන කතාය.

අප අද බොහෝ භක්‌ත්‍යාදරයෙන් වන්දනා කරන මහනුවර දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ අපට පූජාවස්‌තුවක්‌ ලෙසින් ලැබුණේ දැඩි අවහිරතා මධ්‍යයේ බව අපි නොදනිමු. ඒ සඳහා දෙව්ලොව දෙවියන් මෙන්ම මනුෂ්‍ය ලෝකයේ ප්‍රභූන්ද අපට බොහෝ සේ උදව් විය.

දළදා වහන්සේ ළඟතබාගත් දඹදිව පඬුවස්‌ රජ මිත්‍යාදෘෂ්ඨික අදහස්‌ වැළඳ එම දළදාවට කළ හිරිහැර බොහෝය. වරක්‌ කිණිහිරියක්‌ මත තබා මිත්‍යාදෘෂ්ඨිකයන් ලවා දළදාවහන්සේට කුළුගෙඩිවලින් පහරදීමට අණකරද්දී, දළදාවහන්සේ එම කිණිහිරියේ එරී ගොස්‌ නිරුපද්‍රිතව වැඩසිටි බව බෞද්ධ සාහිත්‍ය පුරාවෘතවල දැක්‌වේ. එහිදී දළදාව ප්‍රාතිහාර්ය පෑ බව කියෑවේ.

එහිදී කිසිවෙකුටත් කිණිහිරෙන් මෑත්කොට ගත නොහැකි වූ දළදා වහන්සේ ඉන් මෑත්කොට වඩා හිඳුවාගත්තේ බුදුරජාණන් වහන්සේට ෙ-තවනාරාමය කරවා පූජා කළ අනේපිඬු මහ සිටුගේ සත්වැනි මුණුබුරා වූ සුභද්‍ර නමැති සිටාණන්ය. මේ සිටාණෝ බුදුරජුන්ගේ දහසක්‌ ගුණගායනා කරමින් වැඳ දොහොත්මුදුන් කළ අවස්‌ථාවේ රශ්මිකදම්භ විහිදුවමින් ඒ සම්‍යක්‌දෘෂ්ටික පිංවතාගේ දෝතට වැඩියහ.

එහිදී සුභද්‍ර සිටාණන් ජාතක වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කළ බව පැවසේ. මෙහිදී ගායනා කළ අලංකාර පද්‍ය බෞද්ධ ග්‍රන්ථවල දැක්‌වෙන අතර ඒවා අත්‍යලංකාර බව කිව යුතුය.

මුනි රාජ වරො - නර රාජ වරො
දිවි දෙව වරො - සුචි බ්‍රහ්මවරො
සක පාප හරො - පර පාප හරො
සක වුද්ධිකරො - පර වුද්ධි කරො

ලෝක ජනී ජනයාගේ පූජාවට පාත්‍රවූ අනන්ත කරුණා ගුණයෙන් යුත් මහා කාරුණික වූ සියලු ප්‍රඥවට මුල්වූ, ශාඛ්‍යවංශයට අයත්, මාරදිව්‍යයාට බියක්‌ වූ සියලු සත්ත්වයාට ප්‍රිය උපදන්නාවූ, ලෝක ශිවඞකර වූ පාපභයඞකරවූ සර්වඥ දිවාකරයාණන් වහන්ස. ඔබ වහන්සේගේ ආශ්චර්යය පෙන්වාදුන මැනව. ආදී වශයෙන් උන්වහන්සේගේ ගුණ ගායනාකරන විට ප්‍රාතිහාර්යය පාමින් ජනී ජනයා විශ්මපත් කර ඇත.

මෙහිදී මිත්‍යාදෘෂ්ටික අදහස්‌ දැරූ පඬුවස්‌ රජ බෞද්ධයකු වූ බව පුරාවෘතවල සඳහන්ය. නමුත් නිගණ්‌ඨයන් රජුගේ සිත් නැවත නැවතත් පාරමින් දළදාවහන්සේට අවමන් කිරීම සඳහා යොදාගන්නට උත්සාහ කළ බව පැවසේ. එහෙත් පසුව තෙරුවන්සරණ ගිය උපාසකයෙක්‌ වූ එම රජු තම රාජ්‍යයද දළදා වහන්සේට පූජා කළේ මහත් බැතිසිතිනි. පසුව පඬුවස්‌ රජතුමා සසුනේ පැවිදිව සිට කාලක්‍රියා කළ බව පැවසේ. ඉන්පසු "ගුහසීව" රජු දළදාව දන්තපුරයට වැඩමවා ගත් අතර පුද පූජා පවත්වමින් එයට ගෞරවාදරය පිරිනැමූ බව කියෑවේ.

එම අවධියේ උදේනි රජුගේ පුත්වූ දන්තකුමරු මහත් වූ පින් ඇත්තෙක්‌ වූ අතර කළිඟු පුරයට පැමිණ දළදා වහන්සේට බුහුමන් දක්‌වමින් එහි වසන්නට විය. දන්තකුමරු යහපත්ය පැහැපත්ය. ප්‍රියඋපදනා සුලුය. මහපින් ඇතියහ. "ගුහසීව" රජුට මේ තරුණයා හිතට ඇල්ලුවේය. දිනක්‌ රජු දන්තකුමරුට කතාකොට "පුත නුඹ රාජකීයයෙකි. වාසනා ගුණය පුරුදු පුහුණු කළ අයෙකි. හොඳම හොඳ බෞද්ධයෙකි. මම මගේ ඇසවන්· රූපකාය සම්පතින් අගපැමිණි· හේමමාලාවෝ තොපට සරණකර දෙමි. පුත, ඊට කැමැතිදැයි කියව· "ඉන්පසු දන්තකුමරු ගුහසීව රජු අමතා "මහරජ පියාණනි· ඉදින් ඔබවහන්සේගේ කැමැත්ත එයනම් මම ඊට කෙසේ පිටුපාන්නේ වෙම්ද? මම කැමැත්තෙමි."

මේ අයුරින් දෙපාර්ශ්වයේ කැමැත්තෙන් ඒ දෙදෙනා අතර විවාහය මහත් උත්සවාකාරයෙන් සිදුවිය. දළදාවහන්සේ රැක්‌මේ කාර්යභාරය ඉන්පසුව පවරන ලද්දේ මේ දන්ත කුමරුට හා හේමමාලාවන්ටය.

පසු කලෙක දන්තධාතූන්වහන්සේ පැහැරගනිමියි සිතූ "ක්‍ෂීරධාර රජ පුත්වරුන්" ගුහසීව රජු සමඟ යුද්ධ ප්‍රකාශ කළවිට මහසෙන් රජුගේ අවධියේ සිට තිබූ මිත්‍රත්වය ප්‍රයෝජනයට ගනිමින් දළදාවද රැගෙන ලක්‌දිවට යන ලෙස ගුහසීව රජු කම බෑණා වන දන්ත කුමරුට හා දියණිය හේමමාලාවන්ට ආදරයෙන් කියා සිටියහ.

"මම ච පිය සහායො සො මහාසෙන රාජා
ජින චරිත සරොප් ද්ව ද්ව සෙවාභි යුත්තො
සලිලම පිච පුට්‌ඨො ධාතුයා පත්ථයන්තො
විවිධ රතන ජානං පාභතං පෙසයි තථ"

ආදී වශයෙන් මහාසේන රජු පෙරදී තමා වෙතින් දන්තධාතූන් වහන්සේ ඉල්ලූ ආකාරයද සිහිපත් කර දුනි.

ඉන්පසු බ්‍රාහ්මණ වෙස්‌ගත් දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදාව සඟවාගෙන මහත් හිරිහැර කරදර මධ්‍යයේ ලක්‌දිව බලා ඒමට පිටත්වුනි. තමලිංගමු නුවරින් නැව් නැගි ඔවුන් දළදා වහන්සේගේ ඍද්ධිබලයෙන් කිසිදු ආපදාවක්‌ නොමැතිව ලංකාපටුනට සැපත් වූහ.

මොවුන් ලක්‌දිවට ගොඩබැස්‌සේ මහසෙන් රජුගේ පුත්වන කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවසය. මෙම රජුගේ රාජ්‍ය ප්‍රාප්තියෙන් නවවන වර්ෂය වූ ක්‍රි.ව. 312 දී. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදාව රැගෙන ලක්‌දිවට ආ වග ඉතිහාසයේ සඳහන් වේ. එදා දෙවනපෑතිස්‌ රජු විසින් බුදුසසුනට පූජා කළ මහමෙව්නාවේ පිහිටි ධම්මචක්‌ක ගෘහයේ දළදාව තැන්පත්කර රජු ඇතුළු පිරිස්‌ ඊට පුද සත්කාර කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්යෑ.

අනුරාධපුරයට වැඩම කළ දළදා වහන්සේ එම ශුද්ධ භූමියෙහි වඩා හිඳුවා. මහ පූජාසත්කාර කිරීමට රජු අණකළේය. ඒ සඳහා දෙවියන්ගෙන්ද සහාය ලැබුණ බව බෞද්ධ පොතපතේ සඳහන්ය. කෙසේ වෙතත් බුදුන්වහන්සේ ජීවමානව සිටියදී දෙසා වදාළ ලෙසින් ප්‍රධාන පූජාමය වස්‌තුවක්‌ අපට ලැබීම අපේ බෞද්ධ ජනයාගේ භාග්‍යයක්‌ කොට සැලකිය යුතුය.

එදා එම අවස්‌ථාවේ ශ්‍රී දන්තධාතූන් වහන්සේ කිත්සිරිමෙවන් රජුට දැකගැනීම පිණිස මහා පෙළහර දැක්‌වූ අතර රජු පැහැද පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිනාගොස්‌ දන්තධාතූන්වහන්සේට පුදසත්කාරාදිය පැවැත්වීම පිණිස නුවරුන් අණවන ලදී. ඒ අතර රජතුමා ශ්‍රී දන්තධාතූන්වහන්සේ හිස මුදුනේ තබාගෙන සිංහාසනයෙන්ද පූජාකර මහා ශබ්දපූජා පවත්වා දළදාවහන්සේ අනුරාධපුර නගරයේදී පූජ්‍යත්වයට පත්කරන ලද්දේ දළදා පූජාවන්ටද අණ කරමින්ය. එදා නුවරවැස්‌සෝ මේ මහා ප්‍රාතිහාර්යය දැකගැන්ම සඳහා දහස්‌ සංඛ්‍යාතව පෙළසැදී සිටගත්හ.

නැවතද සොළීන් ලක්‌දිව ආක්‍රමණය කර දළදාවත්, පාත්‍රාධාතුවත්, මිණිබෙරයත් රැගෙන සොළීරටට පලාගියහ. මෙයින් කෝපයට පත් සිළු සිරිසඟබෝ රජතුමා මන්නාරම් තොටින් නැව්නැගීගොස්‌ සොළීපුර අවරෝධනය කර දළදාවත්, පාත්‍රාධාතුවත්, මිණිබෙරයත් ආපසු ලංකාද්වීපයට ගෙන එන ලදී. ඉන්පසු රාජපරම්පරා ලෙසින් ගජබා රජතුමා, මහළු විෙ-බා රජතුමා මහළු පැරකුම්බා මහජතුමා දළදා පුද පූජා පවත්වමින් ඊට නිසි ගෞරව දක්‌වමින් දළදා වහන්සේගේ කටයුතු පිණිස නිලධරයන් පවා පත්කරමින් කටයුතු කරන ලදී.

මේ කාලය අතරතුර පණ්‌ඩිත විජයබාහු නිශ්ශංක කල්‍යාණවතී, ධර්මාශෝක, ඇණියංග, ලීලාවතී, මංගල යන රජුන් හා රැජනියන් දළදාවහන්සේට මහා පුදසත්කාර කළ රජුන් හා රැජනියන් අතර විය.

එසේම දඹදෙණි පුර රජකළ විෙ-බා පණ්‌ඩිත පැරකුම්බා බුවනෙකබා, බෝසත් විෙ-බා, වත්හිමි යන රජවරුන් දළදා වහන්සේට ගෞරව පූජා සත්කාර කළ අතර දෙවන පැරකුම්බා හෙවත් පණ්‌ඩිත පැරකුම්බා රජු දඹදෙණිගල මස්‌ථකයේත්, විෙ-සුන්දරාරාම විහාර භූමියේත් දළදා මන්දිර කරවා තුන්වේලේ පුදසත්කාර කරන ලදී.

දඹදෙණි රජදවස මාළිගාගල මුදුනේ සිට ලෝකඩ තම්මැට්‌ටම ගසා ඇසුණ දුර ප්‍රමාණයේ ගොඩ මඩ භූමි දළදා වහන්සේට පූජාකරන ලද අතර හීල හා දිවා දානය නියමිත පරිදි රාජකාරි ලෙස දළදා වහන්සේට පූජාකිරීමට නිලධාරීන් අණවන ලදී. මෙම කාලයේදී දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව සිදු කෙරෙන ශ්‍රීවර්ධන පූජාවද පවත්වන්නට කටයුතු යොදන ලද්දේ දෙවන පැරකුම්බා රජ දවසය. එතුමන්ගේ අවධියේම "රිදී හතළිස්‌ දාහකින්" කරඬුවක්‌ සාදා දළදා වහන්සේට පූජාකරන ලද්දේ රන්රිදී මුතු මැණික්‌ ඔබ්බවා සකස්‌ කළ මාලාදාමයකින් කරඬුව වටකොට සරසාය. එදින මහ පුද පූජා දඹදෙණි පුරවරයේදී සිදුකළ බව පුරාවෘතයන්හි සඳහන්ය.

ඉන්පසු කෝට්‌ටේ, සීතාවක, ආදී රාජධානිවල පුදපූජා ලබා වර්තමානයේ වැඩවසන මහනුවර දළදා මාළිගාවට දන්තධාතූන්වහන්සේ වැඩමකළේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසය. එම රජතුමා පත්තිරිප්පුවක්‌ තනවමින් දළදා වහන්සේට හරසර දැක්‌වූ අතර වාර්ෂිකව දළදා පෙරහැර ඇසළ මාසයේ සිදු කිරීමටද මූලිකව කටයුතු කළේය. බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ බඳු ශ්‍රී දන්තධාතූන්වහන්සේ අපේ රටට ලැබුණේ ඔය අයුරින්ය. මේ කාලසීමා තුළ බොහෝ ව්‍යසන හා කැරලි කෝලාහලද ඇතිවිය. ඒ විස්‌තර එකක්‌ නෑර මෙහි සඳහන් කළ හොත් ලිපිය තවත් දිග්ගැස්‌සේ හේමමාලා පුණ්‍යවන්තියගේ කෙස්‌ තුළ සඟවාගෙන බුද්ධාලම්භන ප්‍රීතියෙන් වැඩම කළ ඒ මහා පුරුෂෝත්තමයාණන්ගේ වාම දළදාව අදත් නිරුපද්‍රිතව කන්ද උඩරට ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින බව අපි දනිමු. ඒ වැඩසිටින අනුහසින් අපට මහවිපත් සිදුනොවන බව කෝටිගණන් ජනතාවගේ විශ්වාසයයි. එම විශ්වාසය තවත් බොහෝකල් බෞද්ධ ජනයාගේ හදවත් තුළ නොනැසී පවතිනු ඇත.



උපුටා ගැනීම - සිංහලයා
ධර්මරත්න තෙන්නකෝන්

31 May 2012

සිරි දළදා හාමුදුරුවන් පිළිබද සත්‍ය කථාවක්‌..෴

මේ කතාන්තරය 1921.05.12 වනිදා සිදු වූ සත්‍ය සිද්ධියකි.එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්‌” හෝටලයේය. එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්‌” උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය.

ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි. ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නියම කෙරිණි.

සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌aඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය.

අනේ සාදු….. අනේ සාදු… අනේ සාදු…. කවුරුත් හඬනගන්නට වූහ. අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය….. ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය. සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය. කෝ තොපේ බුද්ධා… හොයා පියව්….. නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය.

දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. “වැස්‌ස නවතීවි” යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ. එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය. එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය. මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද “නුවරවැව” බැමි පුපුරා කඩාගෙන යන්නට “ඔන්න මෙන්න” කියා තිබිණි.

අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය. දැන් දැන්… මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය. ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ.

“පරයි…… දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්” අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය. බෞaදධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ. කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු…. ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා. අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය. වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ. ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය.

“ශ්‍රී දළදා හිමිපාණන්…… ඉස්‌සුවොත්…….. හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා” යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කි¹ බැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය. අමාරුවෙන් තතන තතනා මේ පුවත හෙළකළ රංඑතනා මිත්තණියන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා.

ලිපිය උපුටා ගැනීම - එප්පාවල රත්න බී. ඒකනායක

29 February 2012

මහනුවර ජාතික ‍කෞතුකාගාරය...

මහනුවර ජාතික ‍කෞතුකාගාරය ස්ථාපිත කොට ඇති ගොඩනැගිල්ල “ පල්ලෙ වාහල” නමින් හඳුන්වනු ලැබේ. ක්‍රි .ව. 17 - 19 වන සියවස්වලට අයත් මෙම ගොඩනැගිල්ල ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ පරිවාර බිසෝවරුන් වාසය කළ අන්තඃපුර මාළිගාව ලෙසද පිළිගැනේ. මෙම ගොඩනැගිල්ල මහනුවර යුගයේ වාස්තු විද්‍යා නිර්මාණ පිළිබිඹු කරන ඉතා වැදගත් එක් නිදර්ශනයක් ලෙසට ද හැඳින්විය හැකිය. 1832 දී ආරම්භ වු මහනුවර කලා සංගමය විසින් සංස්කෘතික හා ඓතිහාසික වටිනාකමකින් යුත්, ඔවුන් එක්රැස් කර ගත් ‍කෞතුක භාණ්ඩ තැන්පත් කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල යොදා ගෙන තිබුන අතර, එම භාණ්ඩ එකතුව යොදා ගනිමින් 1942 දි ‍කෞතුකාගාරයක් වශයෙන් මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි.
මෙම ‍කෞතුකාගාරය සතුව මහනුවර යුගයේ (ක්‍රි. ව. 17 – 19 සියවස්වල) විවිධ සංස්කෘතික හා ඓතිහාසික පැතිකඩවල් නියෝජනය කෙරෙන පන්දහසකින් (5000) පමණ සමන්විත ‍‍කෞතුක භාණ්ඩ එකතුවක් ප්‍රදර්ශනය කෙරේ.

24 February 2012

මහනුවර යුගයේ සිතුවම් කලාව...

මහනුවර යුගයේ චිත්‍ර උඩරට චිත්‍ර නමින් ද හැඳින්වේ. අතීතයේ දී උඩුනුවර යටිනුවර දුම්බර හේවාහැට හාරිස්පත්තුව යන ප්‍රදේශවල ව්‍යාප්තව පැවති උඩරට රාජධානිය වත්මන් මහනුවර කේන්ද්‍ර කර ගත්තකි. 1වන විමලධර්මසූරිය රජු ගෙන් ඇරඹි යුගය ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගෙන් නිම වෙයි .මහනුවරචිත්‍ර කලාව බුදු සමය සමඟ අත්වැල් බැඳගෙන පෝෂණය වූවකි.අසරණ සරණ සරණංකර හිමියන්ගේ දායකත්වය නිසා පිරිහෙමින් පැවති මහනුවර කලාවට නව පණ ලැබුණි.කීර්ති ශ්‍රි රාජසිංහ රාජ සමය්දී උපසම්පදා කර්මය යළි පිහිටුවීමෙන් පසු විහාර කර්මාන්තය ‍මෙන්ම එහි සිතුවම් කලාව ද වර්ධනය විය.කලාවේ උන්නතිය සදහා 1වන විමලධර්මසූරිය(ක්‍රි.ව.1592-1604)සෙනරත් රජ(ක්‍රි.ව.1604-1635) 2වන රාජසිංහ (ක්‍රි.ව.1634-1684)2වන විමලධර්මසූරිය (ක්‍රි.ව.1686-1705)ශ්‍රි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1705-1738) ශ්‍රි විජය රාජසිංහ (ක්‍රි.ව.1738-1746)කීර්ති ශ්‍රි රාජසිංහ (ක්‍රි.ව.1746-1799)යන රජවරුන්ගේ දායකත්වය නොමඳව ලැබුණි.

...විහාර චිත්‍ර...

මහනුවර චිත්‍ර දක්නට ලැබෙන ස්ථාන අතර ලෙන් විහාර හා ටැම්පිට විහාරවලට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ.ලෙන්හි අඳිනු ලබන චිත්‍ර ලෙන් විහාර චිත්‍ර ලෙස හැඳින්වේ.මේවා භික්ෂූන්ගේ වාසය සඳහා සකස් කළ ස්වභාවික ගල් ලෙන්ය.මහනුවර යුගයේ ප්‍රකට ලෙන් විහාර කිහිපයක් තිබේ රිදීවිහාරය,දෙගල්දොරුව,දනගිරිගල,දඹුල්ල, අලුවිහාරය ඒ අතර ප්‍රකට ය.ටැම්පිට විහාර අඩි හයක් පමණ උසට ගල් කණු සිටුවා ඒ මත මෙ‍ම විහාර ගොඩනංවා තිබේ.පොළව හාරා සිටවූ ගල් කණු මත විහාර ඉදිකරනු ලැබුවේ වේයන්ගෙන් චිත්‍ර ආරක්ෂා කර ගැනීම ට යැයි ඇතමෙක් කියති.මැදවලවිහාරය,දන්තුරේ විහාරය ප්‍රකට ටැම්පිට විහාරයන්ය. සූරියගොඩ, දෙවනගල, හිඟුල, දැඹව,විලයාය ප්‍රදේශ වල ද ටැම්පිට විහාර දක්නට ලැබේ.

...සැරසිලි මෝස්තර...

මහනුවර චිත්‍ර කලාවේ වැදගත් ලක්ෂණයකි.නුවර යුගයේ දී තිරිඟිතලය මූලික කර ගෙන මෝස්තර යෙදීම දක්නට ලැබේ.මධ්‍යකාලීන සිංහල කලා කෘතියෙහි දැක්වෙන පරිදි මහනුවර යුගයේ සැරසිලි මෝස්තර සතර වර්ගයකි.දිව්‍ය-සත්ව-වෘක්ෂ හා නිර්ජීව යනු‍වෙනි.දිව්‍ය යන්නට හිරැ,සඳු අයත්ය. හිරු සදු නොනැසී පැවැතීමේ සංකේතයයි. හිරුගෙන් ප්‍රතාපවත් බව ද සඳුගෙන් සෞම්‍ය බව ද විදහා දැක්විණ.මවාගත් සතුන් වන භේරුණ්ඩ-මකර-ගජසිංහ-ඇත්කඳළිහිණි-කිඳුරු-සරපෙන්දිරූප ද සිංහ-නාග -හංස-සැවුල්-මත්ස්‍ය-ඇත්-ගව-අශ්ව-ඇත් රූප සත්ව යන්නටඅයත්ය.සීන-කඩුපුල්-නාරිලතා-පරසතු-පිච්ච-වැටකේ-ඇසළ-සපු-අනනාසි-ලියවැල-පළාපෙති-මහනෙල්මල-බිනර මල යන මෝස්තර සටහන් උද්භිත ගණයෙහිලා ගැනේ.අරිම්බුව-කුන්දිරික්කම්-පනාව-තනි පොට ලණුව-දෙපොට ලණුව-සුළිය-සුළි දෙක-හවඩිය ආදී ජ්‍යාමිතික මෝස්තර සටහන් නිර්ජීව යනුවෙන් දක්වා ඇත.

...ශිල්පීය උපක්‍රම...

මෙකල ශිල්පීන් යොදාගත් ශිල්පීය ධර්ම විශේෂ වූවකි.බිත්තිවල චිත්‍ර ඇඳීමට යෝග්‍ය පරිදි බදාම පිළියෙළ කිරීමෙන් චිත්‍රවල කල් පැවැත්ම අපේක්ෂා කරන ලදී. බදාමය හුණු හා කහට පොතු දියර සමඟ මිශ්‍ර කිරීම එක් උපක්‍රමයකි.පොල් කෙදි,අරලු කහට ඇසතු බෝ පොතු සිහින්ව ලියා කොටා ගත් මිශ්‍රණයට අරලු හා ජලය එක්කර බදාම තැනීමට අවශ්‍ය ජලය සපයා ගැනීම ද සිදු කරන ලදී.කැටයම් සඳහා බදාම සකස් කිරීම වෙනත් ස්වරූපයකින් දක්නට ලැබුණි.

වර්ණ සකස් කිරීමේදී ද ස්වභාවික වර්ණ භාවිත කරන ලදී.සුදුපැහැය සකසා ගනු ලැබුවේ මකුළු නමින් හැඳින්වෙන පොළවෙන් ලබාගත් පස් වි‍ශේෂයකිනි.පොල්කටු අඟුරු සියුම්ව කුඩුකර හලා ගැනී‍මෙන් කලු පැහැය ලබාගැණින.ගුරුගල් සියුම්ව කුඩුකර හලා ගැනීමෙන් රතු වර්ණය ලැබුණි. මේ හැරුණුවිට සාදිලිංගම් රතු පැහැය ඉන්දියාවෙන් ‍ලබාගෙන තිබේ.ගොකටු ගසේ කිරිවලින් කහ පැහැයද නිල් ඇවරිය කොළ යුෂ උණුකිරීමෙන් නිල් පැහැයත් අගුණ රණවරා, මිදෙල්ල කොළ යුෂ යොදා ගැනීමෙන්කොළ පැහැයත් ලබා ගන්නා ලදී.දිවුල් ලාටු මිශ්‍ර කිරීමෙන්වර්ණ ස්ථාවරත්වය අපේක්ෂා කළහ.ටැම් හා ගොඩනැගිලි චිත්‍ර සඳහා දිය සායම් භාවිත කළ අතර වර්ණ ප්‍රබේද ලබා ගැනීමට සුදු-කළු වර්ණ භාවිත කළහ.

තෙතමනයෙන් චිත්‍ර ආරක්ෂා කිරීමට යොදාගත් සාර්ථක උපක්‍රමය වූයේ චිත්‍ර මත වලිත්ති ආලේප කිරීමයි.චිත්‍ර අලංකාර කිරීමට ද මෙය ප්‍රයෝජනවත් විය.වලිත්ති සකස් කිරීමට අනුගමනය කළ ක්‍රම කිහිපයකි.පිරිසිඳු දුම්මල කුඩු දොරණ තෙල් සමඟ මිශ්‍ර කර නිවෙන්නට හැර වාර කිහිපයක් පෙරා ගැනීම,ගොකටු සායම් වලිත්තියක් ලෙස භාවිත කිරීම,කැප්පෙට්ටිය කොළ වලිත්තියක් ලෙස සිහින්ව ආලේප කිරීම ද සිදු කරන ලදී.

චිත්‍ර ඇඳීමේදී පින්සල් සඳහා විවිධ මාධ්‍ය භාවිත විය.සත්ව ලෝම තෘණ වර්ග එහීදී මූලික විය.මෘදු බවින් යුතු ලේන ලොම් හා බළල් ලොම් යොදාගනීම සියුම් රේඛා කර්මයට හේතු විය.වැටකෙයියා මුල්, ‍තෙලි තණ හා තුත්තිරි කෙඳි ද පින්සල් සඳහා යොදා ගනු ලැබිණ.

...චිත්‍ර ශිල්පීන්...

නුවර යුගයේ චිත්‍ර ශිල්පීහු කොට්ටල්බද්ද කාර්මික ‍ශ්‍රේ ණියට අයත් වූවෝ වෙති.නුවර යුගයේ සිතුවම් කලාව ගොඩනැංවීමට මොවුහු සෘජුවම දායක වී තිබේ.දෙවරගම්පල සිල්වත්තැන ,දේවේන්ද්‍ර මුලවාරියා මහනුවර සිත්තර පරම්පරාවට අයත්ය.එල්.ටී.පී.මංජු ශ්‍රී ගේ අදහසට අනුව දේවේන්ද්‍ර මුලවාරියා දෙවිනුවර සිත්තර පරම්පරාවේ කෙනෙකි.නීලගම පටබැන්දා,කොස්වත්තේ සිත්තර න‍යිදේ හා දෙවරගම්පල සිල්වත් තැන දෙගල්දොරු චිත්‍ර ශිල්පීන්ය.දෙවරගම්පල සිල්වත් තැන කීර්ති ශ්‍රී රාජසිංහ රජුට සේවය කළේය.ඹහු නායක්කර් වංශික ශිල්පීන්ද මැනවින් ඇසුරු කළ අයෙකි.නයිදේ පරම්පරාවට අයත් කොළඹ නයිදේ දෙවන රාජ‍සිංහ රජුට සේවය කළේය.මද්දුම නයිදේ ,දෙවන විමලධර්මසුරිය රාජ සමයේ විසූවෙකි.ගල්ලෙන් නයිදේ නරේන්ද්‍රසිංහ රජුට සේවය කළේය.උල්ලඳුපිටියේ සිත්තරා,ගන්නොරුවේ නවරත්න දණ්ඩයා,මංගලගම නීලවල මුහන්දිරම්,සේරුගොල්ලේ සිත්තර නයිදේ,පල්ලේකුඹුර උන්නාන්සේ ද මෙකල විසූ චිත්‍ර ශිල්පීන්ය.

මෙකල දකුණු ප්‍රදේශයේ විසූ භිමප්පු ගුරුන්නාන්සේ වැලිතර පරම්පරාවේ අයෙකි. සෝලියස් මෙන්දිස් ද වැලිතර පරම්පරාවේ සිත්තරෙකු‍ගේ ගෝලයෙකි. කඩොල්ගල්ලේ සිත්තර පරම්පරාව විසින් කතලුවේ පූර්වාරාම විහාර බිතුසිතුවම් අඳින ලදී.මෙකල විසූ සෙසු ශිල්පීන් නම් බැද්දෙවත්තේ දිනෝ සිත්තරා ,ගරා ඬුවේ මහ සිත්තරා,ගාලුපියද්දේ බබුන් ,කිරින්දේ ශීලානන්ද හිමි ,බිබිලේ සිත්තර නයිදේ,චන්ද්‍රසේකර දේවපතිදේවනාරායන බුවනෙකබාහු සිත්තර නයිදේ යන චිත්‍ර ශිල්පීන් ය.

...මහනුවර යුගයේ චිත්‍රවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ...

මහනුවර යුගයේ චිත්‍ර ශිල්පියා තම නිර්මාණ සඳහා ජාතක කතා පදනම් කරගෙන තිබේ.දිව්‍යලෝක දර්ශන අපාය දර්ශන නිරූපණය කිරීමෙන් මිනිසා පිනට නැඹුරුකරවීමත් පවට බිය වැද්දීමත් අපේක්ෂා කරන ලදී.මාර පරාජය,සූවිසි විවරණ ,සත් සතිය,පසේ බුදුවරු,අටමස්ථාන ආදිය නිරූපණයෙන් පෙනෙන්නේ නුවර චිත්‍රවල පැවති ‍බෞද්ධ ආභාසයයි.

මෝස්තරකරණයේදී සංකේත භාවිතයක් දක්නට ලැබේ.නෙළුම් මල නිවනේ හා පවිත්‍රත්වයේ සංකේතයයි.කඩුපුල් මල කල්ප වෘක්ෂ මෝස්තර මඟින් දෙව්ලොව නිරූපණය වෙයි.සූර්ය-චන්ද්‍ර සටහන් සථිරත්වයේ සංකේත වෙයි. නාගරුව ආරක්ෂාවේ සංකේතය වශයෙන් ද මත්ස්‍ය හා වෘක්ෂ සටහන් මංගල ලක්ෂණ වශයෙන් ද තවදුරටත්යොදාගනු ලැබීය.ප්‍රෙහේළිකා චිත්‍ර මඟින් විස්මය දැනවෙයි.හාස්‍ය රසයත් භයානක රසයත් ලබාදෙන චිත්‍ර මහනුවර සම්ප්‍රදායෙහි හිඟ නොවේ.විනෝද ජවනිකා මෙන්ම ජ්‍යොතිෂය ද අන්තර්ගත ජන ජීවිතය‍ට වඩාත් සමීප චිත්‍ර කලාවකි.

පුස්කොළ පොතක තීරු මෙන් වමේ සිට දකුණට දකුණට කතා ශරීරය ගලායන ආකාරයෙන් චිත්‍ර නිමවා ඇත.පාදමේ රේඛාව මත පිහිටුවා හැඩ ගැලපීම සිදු කරයි.බාහිර රේඛා යොදා ගනු ලැබිණ.කලුවන් රාමුවක පැතලි වර්ණාලේප භාවිත කර තිබේ.ගැඹුරු ප්‍රකාශන ඉරියව් මෙම චිත්‍රවල දක්නට නැත. මෙම චිත්‍ර තාත්විකත්වයෙන් බැහැර වූයේ සිත් බඳනා පරිදි කතාවක් කීම අරමුණු කර ගත් නිසා විය යුතුය.පරිමාණය ගැන නොසලකා තිබේ.වර්ණ භාවිතයේදී කහ රතු දුඹුරු පැහැයන් බහුලව යොදා ගන්නා ලදී. සිද්ධි එකිනෙක වෙන් කිරීම සඳහා රූප භාවිතා කරන ලදී.හිස් ඉඩ වැසීම සඳහා චිත්‍ර මෝස්තර යළි යළිත් යොදා ගනු ලැබිණ.නෙළුම් මල් කඩුපුල් මල් සීන මල් වැටකේ මල් කොළ ඉති ආදිය ඒ සඳහා යොදා ගන්නා ලදී.

සමකාලීන වෙනත් රටවල චිත්‍රකලාවන්හි ආභාසයද මහනුවර යුගයේ චිත්‍රවල දක්නට ලැබේ.සියම් බුදුපිළිමවල තිබූ සිරස්පත කේතුමාලාව ලංකාවේ බුදුපිළිමවල දක්නට ලැබේ.නාරිලතා ලියපත්‍ර ආදී මෝස්තර රටාවන්හි සියම් බලපෑම දක්නට ඇත.තීරුවකින් කතා නිරූපණ‍‍ ශෛලිය, චිත්‍ර පාදමෙහි සුදු වෙනුවට කළු තීරුවකින් වෙන් කිරීම, බුරු‍ම චිත්‍රවල දක්නට ලැබේ. මහනුවර යුගයේ චිත්‍රවල ඇති ඉන්දීය බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වන කොටගම වාචිස්සර හිමිගේ අදහස නම් නායක්කර් වංශිකයන් සමඟ පැවැත්වූ සමීප සම්බන්ධතා හේතුවෙන් එකී ශිල්පීය ආරයන්ගෙන් මහනුවර කලාව පෝෂණය වූ බවයි. මහනුවර යුගයේ චිත්‍ර ලක්දිව චිත්‍ර කලාවේ වැදගත් සංදිස්ථානයකි.දුෂ්කරතා මධ්‍යයේ කළ කාර්යයක් බැවින් මහනුවර යුගයේ චිත්‍ර අගය කළ හැකිය.

23 February 2012

දෙගල්දොරුව...

සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත බැවින් දෙගල්දොරුව නම්‍ වු මහනුවර අමුණුගම නම් ග්‍රාමයේ පිහිටි දෙගල්දොරුව විහාරය මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සැළකීම අතිශයෝක්තියක් නොවේ.

කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) රජු ගල්මඬුව විහාරය කරවමින් සිටියදී එතුමන්ට අනුහස් සහිත වු මෙම ස්ථානස පිළිබඳව සැල වී ගල්මඬුව විහාර කර්මය අතර මඟ නතර කර මෙය ඇරඹු බව පැවසේ.අනතුරුව මෙහි වැඩ ඵතුමන්ගේ සොයුරු රාජාධි රාජසිංහ රජු ක්‍රි:ව 1786 දී නිමකර මොරතොට ධම්මබුද්ධ හිමි ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරූ බව විහාර සන්නසේ දැක්වේ.

දිගින් දොළොස් රියනක් සහ අට රියනක් පළලින් යුත් ලෙනක් කැණ දහඅට රියනක් දිගින් සැතපෙන බුදු පිළිමයක් පිහිටි ගලින්ම මතුකර සායම් කරමින් නිර්මිත මෙම විහාරයේ සිතුවම් කටයුතු උපසම්පදා නොලත් පටබැන්දෙව්රගම්පළ සිල්වත්තැන ප්‍රමුඛ නීලගම දා,කොස්වත්තේ සිත්තර නයිදේ සහ තවත් අප්‍රකට සිත්තරකු ලවා කරවා ඇත්තේ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ බවද පැවසේ.මෙහි ප්‍රධාන සිත්තරා වු දෙව්රගම්පළ සිල්වත්තැන සිතුවම් කරමින් සිටින විට තම ගෝලයා යැයි සිතා රජු අතට දුන් බුලත්හපයක් පවා රජු අතට ගෙන විසිකර ඇති බවද පැවසේ.මෙයින්ද පෙනෙන්නේ රජු සිතුවම් කෙරෙහි දෑක්වු උනන්දුවයි.ධම්ම බුද්ධ හිමිට රාජාධි රාජසිංහ රජු මෙය පූජා කර ඇත්තේ ගුරු පඬුරක් ලෙසිනැයිද පැවසේ.
මෙහි දහඅට රියන් පිළිමය නෙළීමට වසර 20ක් පමණ ගතව ඇත.වෙහෙරෙහි ඇතුළු දො‍රෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල වෙහෙර නැරඹූ බවත් පැවසෙන අතර දොරටුව ඉහළින් මැණික් ගල් එබ්බවු බවට සළකුණු ද ඇත.මෙහි ගර්භ ගෟහයට ඇතුළුවීමට නෙළා ඇති කේතු ආකාර සඳකඬ පහනේ ප්‍රධාන මෝස්තරය තිරිඟි තලයයි.මෙයද පිහිටි ගලින්ම නෙළා ඇති අතර නුවර යුගයේ දශ්‍ර්‍නීයතම සඳකඬ පහනකි.අන්තරාලයේ විශාල ගල් කුළුණු 12ක් මතින් පියස්ස දරා සිටින අතර මේවාද බිතුසිතුවමින් අලංකෘතය.විහාරය ඇතුළත දුර්ලභ ගණයේ දැවමය මකර තොරණකි.මේ සියල්ල අභිබවා දෙගල්දොරුව අමරණීයව ඇත්තේ එහි ගර්භ ගෟහයට ඇතුළු වන දොරටුව දෙපස ඇති වෙස්සන්තර හා සුතසෝම ජාතක කමාරපරාජය සිතුවමත් මහාසීලව,සත්තුභත්ත යන ජාතක කතාත් ප්‍රමුඛ මහනුවර යුගයේ සිතුවම් රැස නිසාය.මෙහි සිතුවම් අතරින් වෙස්සන්තර,සුතසෝම ජාතක කතා නිරූපණයේදී කලා කරුවාගේ ආවේශය සහ නිර්මාණශීලී ප්‍රකාශනය විශිෂ්ඨත්වයෙන් අගතැන්පත් වේ.මාරපරාජයේ තුවක්කුව අතින් ගත් මාරයින් කාළීන අධිරාජ්‍යවාදී බලපෑමට සියුම් විරෝධයක් දැක්වීමන් මෙන්ම එහි බලපෑමකි.

කලාකරුවන් අමන්දානන්දයට පත් කළ,විවේචකයන්ගේ නොමඳ පැසසුමට ලක් වූ වෙස්සන්තර සහ සුතසෝම ජාතක තාවන්ගේ විශේෂී නිරූපණ කිහිපයක් විමසා බැලීම යෙහෙකැයි සිතේ.මෙහි වෙසතුරු ජාතකයේ අලි ඇතුන් දන්දීම,භාණ්ඩ දන්දීම,ළිඳ ළඟ කළහය,ජූජක බමුණා සැඟවී සිටීම සහ සුතසෝම ජාතකයේ රුක්දෙවියාට බිළි දීමට බැඳ දමා ඇති කුමරුවන්,සිව්රඟසෙන් පැරදවීම යනාදිය මේ අතරින් සුවිශේෂී වේ.අලි ඇතුන් දන්දීම යන අවස්ථාවේ රූප සම්පිණ්ඩණය සහ සමබරතාවය ඉතා උසස් බවක් ගනී.මාරපරාජයේ හිස් පහක් සහ ඔටුණු පහක් සහිත මාරයා ද සෙසු මාරයින්ද ජුගුප්සාජනක බව සහ භයානක බව හොඳින් නිරූපිත ‍‍‍ශ්‍රේෂ්ඨ සිතුවමකි. සෙසු සිතුවම් මෝස්තර ද මන පිනවයි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ජීවිතයට සම්බන්ධ අවස්ථා ජාතක කතා තුළින් නිරූපිත බවට අනුමාන කෙරේ.තද වර්‍ණ මිටි රූ සහිත මෙම සිතුවම් මහනුවර යුග සිතුවම් කලාවේ විශ්මයකි.

01 February 2012

ගැටඹේ පුරාණ තොටුපල

ගැටඹේ පුරාණ තොටුපල සිට පහළ දොඩම්වල සහ හල්ලොලුව අතර සංගිලි පාලම ප්‍රදේශය මහවැලි ගංගාවේ ඉහළ ජෛව විවිධත්වයෙන් හෙබි ප්‍රදේශයක්‌ ලෙස හැඳින්විය හැක. ගංගාව ආශ්‍රිතව ඇති ජලජ පරිසර පද්ධති ගංගාධාර වනාන්තර දූපත් ජෛව විවිධත්වය ඉහළ දැමීමට මහෝපකාරී වන අතරම ඉන් පරිසරයට ලබාදෙන චමත්කාර ජනක සුන්දරත්වය වචනයෙන් පමණක්‌ ප්‍රකාශ කිරීම උගහටය. වරාතැන්න සීමා මාලකය මෙන්ම අවුරුදු 200 පමණ පැරණි ගල් ලිඳ දැනටමත් මේ ආශ්‍රිතව පවතින ඉපැරුණි සාක්‌ෂි ලෙස සැලකිය හැක.

සෞන්දර්යාත්මක අගනා වටපිටාවක්‌ මෙම කිලෝමීටර් දෙකක්‌ පමණ වන භූමි භාගය තුළ පවතී. තවද මහවැලි ගංගාවේ පටුම හා පළල්ම ප්‍රදේශය එක්‌ කිලෝ මීටරයක්‌ තුළ දක්‌නට ලැබෙන ප්‍රදේශය ද මෙයම වේ. මහවැලි ගංගාවේ වම් ඉවුරෙන් ගන්නොරුව වනාන්තරයත් දකුණු ඉවුරෙන් බහිරවකන්ද කඳු වලල්ලෙන් වටව පවතී. හන්තාන හා හුන්නස්‌ගිරිය කඳුවැටි වලින් සමන්විත අවට පරිසරය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නොමද පැසසුමට ලක්‌ව ඇත.

වම් ඉවුරේ ඇති ගංගාධාර වනාන්තර සහ ගන්නොරුව වනාන්තරය නිසා සැමවිටම සත්වයෝ තම ජල අවශ්යධතාව සඳහා මහවැලි ගංගාව වෙත පැමිණෙති. අවාසනාවකට ඉදිවී ඇති මහාමාර්ග පද්ධති හරහා පැමිණිමේදී දුර්ලභ සත්ව විශේෂ රථවාහන අනතුරුවලට භාජන වී මියයැම සිදුවේ. ඉතා දුර්ලභ සත්ව කාණ්‌ඩයක්‌ ලෙස සැලකෙන කොල දිවියන් පවා මෙලෙස අනතුරු වලට ලක්‌ව මිය යයි. මෙම සතාගේ නිදර්ශක දැනටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව පවතී. මෙම සත්වයා ශ්‍රී ලංකාවෙන් වාර්තාවෙන බිළාල පවුලේ කුඩාම විශේෂය වන අතර ලොවෙන් හමුවෙන කුඩාම විශේෂය ද බව පොත්පත් වල සඳහන් වේ. 2007 ශ්රීව ලංකා රතු දත්ත පොතට අනුව අන්තරායක තත්වයට ලක්‌ වූ විශේෂයක්‌ ලෙසට ද හඳුන්වා දී ඇත. මේ වන විටත් ගංගාව ආශ්‍රිතව සපුෂ්ප ශාක විශේෂ සහ ආවේණික ශාක විශේෂ හඳුනාගෙන ඇත. පේරාදෙණිය විශ්වවිද්යාවලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය දීප්ති යකන්දාවලට අනුව ගංගාව තුළ ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ Cryptop Porine (අති උඩයන්) ඝනයේ ශාක විශේෂ 2 ක්‌ (මෙම විශේෂ ශ්රීස ලංකාවට ආවේණික වන අතරම මෙම ඝනය දැඩි ලෙස අන්තරායක තත්වයට ලක්‌ වූවකි. C.undulata දැඩි ලෙස අන්තරායක තත්වයට ලක්‌ වී ඇති අතර becketii අන්තරායක තත්වයට ලක්‌ වූ විශේෂයකි. ගංගාවේ ඉවුරු ආශ්රිඇතව එම විශේෂ හමුවේ. Podos Tmaceae ඝනයේ ශාක විශේෂ 6 ක්‌ ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව හමුවේ ඉන් විශේෂ දෙකක්‌ ආවේණිකය. සපුෂ්ප ශාක විsශේෂ අතර වල්දෙල් හා ඇටඹ මෙරටට ආවේණිකය..

සත්ව විශේෂ සැලකීමේදී ක්‌ෂිරපායි විශේෂ 23 ක්‌ දක්‌නට ලැබෙන අතර ඉන් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. මේ අතර තර්ජනයට ලක්‌වූ විශේෂ ද සිටී. දිය බල්ලා, අදුන් දිවියා, ශ්‍රී ලංකා රිලවා, හම්බාවා මේ අතර සුවිශේෂය. දිය බල්ලන් ගංගාව තුළ දූපත්වල කූඩු තනාගනී. පක්‌ෂි විශේෂ 77 ක්‌ හමුවන අතර මින් විශේෂ 5 ශ්රීර ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. ශ්‍රී ලංකා රන් නළල් කොට්‌ටෝරුවා, ගිරා මලිත්තා, අලු කෑදැත්තා, මුදුන් බොර දෙමලිච්චා ප්රකමුඛව හමුවේ. උරග විශේෂ ලෙස මුදු කරවලා, සර්ප හීරලුවා, දිය නයා, දිය බරියා ආදි විශේෂ හමුවන අතර ඉන් විශේෂ 17 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. හමුවන මුළු විශේෂ සංඛ්‍යාව 44කි. උභය ජීවී විශේෂ 17 හමුවන අතර ඉන් විශේෂ 12 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. කහ හිරි දණ්‌ඩන් විශේෂයෙන් හමුවනුයේ ගංගාවේ ඉවුරු අසබඩ වීම විශේෂිතය. මත්ස්‍යයන් අතරින් විශේෂ 18 පමණ හමුවන අතර ඉන් විශේෂ 2 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. එමෙන්ම ශ්රීහ ලංකාවට හඳුන්වා දුන් මත්ස්යඩ විශේෂ ද පවතී. ආවේණික මත්ස්යි විශේෂ අතුරින් ශ්‍රි ලංකා ගඩයා නොහොත් කොළ ගඩයා වාර්තාවෙන එකම වාසස්‌ථානය මෙම කුඩා ප්‍රදේශය වීම ද සුවිශේෂි කරුණකි. ශ්‍රී ලංකා කොළ ගඩයා ඉංග්‍රීසි බසින් Green Labceo ලෙස හඳුන්වයි.
2007 ශ්‍රී ලංකා රතු දත්ත පොතට අනුව දැඩි ලෙස අන්තරායක තත්වයට ලක්‌ වූ විශේෂයකි. ලෝක රතු දත්ත පොතට අනුව අන්තරායක තත්වයට ලක්‌ වූ විශේෂයක්‌ ලෙසට 2011 දී හඳුන්වා දී ඇත. මෙතෙක්‌ පලවූ ලිඛිත වාර්තා වලට අනුව තව දුරටත් මෙම විශේෂය සමහරවිට වඳවී ගිය විශේෂයක්‌ ලෙසටද හඳුන්වා දී ඇත. මහවැලි නදියේ අධික ලෙස වේගයෙන් ජලය ගලා යන ගල් තලා සහිත ප්රතදේශවල පත්ලේ මෙම මත්ස්‍යයන් ජීවත් වේ. මහනුවර මැද ඇළ නිසා දූෂණයට ලක්‌වන ජලය රසායනිකව හා භෞතිකව ඔක්‌සිජන් හා එක්‌ වී වෙනස්‌ කම් වලට භාජනන වීම සිදු වන්නේද වේගයෙන් ජලය ගලා බස්‌නා මෙම ප්‍රදේශය ආශ්‍රිතව පමණි. ඒ අනුව බලන විට මහවැලි ගඟේ සංයුතිය පාලනය කරන මෙම ප්‍රදේශය නිසා ජෛව විවිධත්වයට ගෙන දෙන දායකත්වය මිල කළ නොහැක.

වාර්තාවන අපෘෂ්ඨ වංශී සත්ව කාණ්‌ඩ අතරින් මුළු සමනලයන් සංඛ්යාවව 42 වන අතර ඉන් එක්‌ විශේෂයක්‌ ශ්‍රී ලංකාවට ආවේණික වේ. භෞමික ගොලුබෙල්ලන් 17 වාර්තා වන අතර ඉන් විශේෂ 12 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වීම තවත් සුවිශේෂීතාවකි.

24 January 2012

නව මහනුවර නගරය


පාරිසරික අගයකින් හා ඓතිහාසික වටිනාකමකින් සුසැදි ලොව සුන්දරම හරිත නගරය ලෙසින් මහනුවර නගරය ලෝක සංචාරක පුරවරයක් බවට පත්කිරීමේ ක්‍රියාදාමය වත්මන් රජය විසින් ආරම්භ කොට ඇත.

රාජ්‍යත්වයේ සංකේතය වූ ශ්‍රී දළදා වහන්සේ මහනුවර වැඩසිටීම නිසා බලයට පත්වන සෑම රාජ්‍ය නායකයෙකුම සිය පදවිය ලබා ගැනීමෙන් පසු ප්‍රථම නිල ගමන ලෙස මහනුවරට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ආශිර්වාද ලබාගැනීම සම්ප්‍රදායක් ලෙස ඉටු කරනු ලබති. එම නිසා බලයේ සිටින රාජ්‍ය පාලකයා හා මහනුවර අතර පවත්නේ නොබිදෙන සම්බන්ධතාවයකි.

ඓතිහාසික හා පාරිසරික සාධක රැසක් දායාද වූ මහනුවරට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ලැබෙන ආකර්ෂණය කිසිදා නෙවෙනස්ව පවතී. සකල ලෝ වැසි බොදු බැතිමතුන්ගේ ගෞරව පූජෝපහාරයට පාත්‍රවූ ශ්‍රී දළදා වහන්සේගේත්, හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වූ මහනුවර ශ්‍රී දළදා පෙරහරත් මේ සංචාරක ආකර්ෂණය තීව්‍ර කරයි.

ලංකාතිලකය, ගඩලාදෙනිය, ඇම්බැක්කේ වැනි ඓතිහාසික සිද්ධස්ථාන මෙන්ම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ වැනි සෞන්දර්යාත්මක නැරඹුම් ස්ථාන මහනුවර කේන්ද්‍රකොට පිහිටා තිබීම නිසාම නගරයේ ජනාකීර්ණ බව නොඅඩුව පවතී.

එසේම පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, අස්ගිරිය ක්‍රීඩාංගනය සහ වික්ටෝරියා ජලාශයට මායිම්ව සුන්දර කඳු වලල්ලකට මැදිව ආසියාවේ ඇති සුන්දරම දිගන ගොල්ෆ් ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන වල පවත්වන තරග නිසා ද මහනුවර නගරය වැඩිවන සංචාරකයන්ට ගැලපෙන පරිදි සකස්වීම අනිවාර්ය වේ.

හන්තාන කඳු පන්තියෙන් හා උඩවත්ත වන අරණට මායිම්ව පිහිටි මහනුවර නගරයේ දේශගුණය ඕනෑම රටක සංචාරකයෙකුට හිතකර තත්ත්වයක් පැවතීම රජය සැලසුම් කර ඇති හරිත නගර නිර්මාණය සාර්ථක වීමට සොබා දහමෙන් ලද මහගු දායාදයකි. පරම්පරාවෙන් පරම්පරාවට ශ්‍රී ලාංකිකයෝ ඓතිහාසික නගරයට පැමිණ වන්දනා මානවල නිරත වුවද එදා මෙදා තුර මේ සුවිශේෂි නගරයේ වෙනස්කම් හෝ සංවර්ධනයක් දක්නට නොලැබිණි.

මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය

මහනුවර කොළඹ මාර්ගය ශ්‍රී ලංකාවේ අංක 01 මාර්ගයයි. මහනුවර දුම්රිය මාර්ගය මෙන්ම මහාමාර්ගය ද යටත් විජිත යුගයේ නිර්මාණ වේ. කොළඹ සිට අඩු දුරකින් මහනුවරට පැමිණෙන අයෙකු භාවිත කළ යුත්තේ මෙම මාර්ග දෙක පමණි. නිදහස ලබා වසර 60 ක් ශ්‍රී ලාංකිකයෝ මේ මාර්ගය භාවිතා කළද එහෙත් අංක 01 පාර පහල කඩුගන්නාවේ සිට කඩුගන්නාව දක්වා කොටස එදා භාවිතා කළ පටු මාර්ගයම තවමත් අපි පරිහරණයේ යෙදෙමු. සුළු සුළු වෙනස්කම් කාපට් ඇතිරීම් සිදු කළද වැඩිවන වාහන තදබදයට ගැලපෙන පරිදි මෙම මාර්ගය පුළුල්වීමක් සිදුවූයේ නැත. ඊට විකල්පයක් ලෙස කොළඹ නුවර මංතීරු 04 කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා කටයුතු පිලියෙළ කොට ඇත. කොන්ක්‍රීට් කුළුණු මත ඉදිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන මෙය කඩවත සිට අඹේපුස්ස දක්වා එක් පසෙකින්ද මහනුවර සිට අඹේපුස්ස දක්වා අනෙක් පසෙන්ද ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය.

කුණ්ඩසාලය පරිපාලන නගරය

මහනුවර හරිත නගරයක් ලෙසින් ලෝක සංචාරක පුරවරයක් ලෙස ඉදිවන විට මධ්‍යම කඳුකරයේ ප්‍රධාන පරිපාලන නගරය කුණ්ඩසාලයේ ඉදිකිරීමට ඇවැසි මූලික කටයුතු දැන් සම්පූර්ණ කරමින් සිටී. මහජන අවශ්‍යතාවයන් සඳහා වූ පරිපාලන කටයුතු සියල්ල කුණ්ඩසාලයේ නව නගරය තුළින් සම්පූර්ණ කරගැනීමට හැකිවන පරිදි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

දැනට පල්ලෙකැලේ ක්‍රියාත්මක කර්මාන්ත පුරයත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයත් නිසා මෙම ප්‍රදේශ සීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන සිටී. එසේම නව සිර කඳවුර මධ්‍යම පළාත් සහා කාර්යාල ඒකකය දැනට වැඩ නිමවෙන මහා පරිමාණ ඉදිකිරීම් ය. මහවැලි ගඟෙන් හා හුළු ගංගාවේ පහස ලබන හුන්නස්ගිරි කඳු පන්තියෙන් වටවුණු කුණ්ඩසාලය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන හා ගුවන් තොටුපල සහ ඕනෑම මට්ටමේ මහා පරිමාණ ව්‍යාපෘතින්ට සුදුසු පාරිසරික තත්ත්වයන්ගෙන් අනූන භූමි භාගයකි.

හරිත නගර සැලසුම

ඓතිහාසික වටිනාකම හා පුරාවිද්‍යාත්මක සාධකයන්ට කිසිදු හානියක් නොවන පරිදි මහනුවර නගරය සංවර්ධනය කිරීම විශේෂිත වේ. ඓතිහාසික නගරයකට පිවිසෙන ද්වාරයක් මෙන් ඉපැරණි ශ්‍රී විභූතිය දැක්වෙන පරිදි නව හරිත නගරයට පිවිසෙන නගර පිවිසුම ඊරියගමදී ඉදි කෙරෙනු ඇත. උමං මාර්ග, ප්‍රවේශ මාර්ග, සංචාරක නිකේතන වැඩි දියුණු කිරීම මෙන්ම බෝගම්බර සිර කඳවුර පල්ලෙකැලේ ස්ථාපිත කිරීමට ද කටයුතු යොදා ඇත. එහි ඉදිකිරීම් නිමවීමට ආසන්නව පවතී.

සාම්ප්‍රදායික කර්මාන්ත

ප්‍රදේශයේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත විදෙස් වෙළද පොළට හඳුන්වා දීමට කුණ්ඩසාලයේ කලාපුරය මහඟු මෙහෙවරක් ඉටු කරනු ලබයි. හණ ආශි‍්‍රත කර්මාන්ත මෙන්ම පිත්තල ආශි‍්‍රත නිර්මාණ කටයුතු ද විශේෂයෙන් උඩරටට ගැලපෙන සම්ප්‍රදායන්ට අනුකූලව නිපදවනු ලබයි. රට අභ්‍යන්තරය නගර නිර්මාණය තුළින් රජයේ ඉලක්කය ආසියාවේ ආශ්චර්ය කරා ශ්‍රී ලංකාව ගෙන යාමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ප්‍රමුඛ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශේෂ වැඩ පිළිවෙළ රැසක් ක්‍රියාවට නංවා ඇත.

පල්ලේකැලේ නව ගුවන් තොටුපළ

කුණ්ඩසාල පරිපාලන නගර සීමාව තුළ ඉදිවෙන නව අභ්‍යන්තර ගුවන් තොටුපළ නිසා මහනුවර නගරයට සංචාරක පැමිණීමත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ප්‍රේක්ෂක පැමිණීම වැඩිවීමටත් හේතු වනු ඇත. මෙම ප්‍රදේශයේ පවතින යහපත් භූ විෂමතා ලක්ෂණ නිසාත් අවම ජනාකීර්ණභාවයත් ගුවන් තොටුපළකට උචිත පරිසරයක් නිර්මාණය කරදී ඇත. ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ මහනුවරට ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නිර්මාණය කිරීමේ යෝජනාවක් පැවතියද එය වැළකී ගියේ ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලුවක් නිසාය. මෙවර පල්ලෙකැලේ ඉදිවන නව ගුවන් තොටුපලට ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලුවක් නොමැති බැවින් එය කඩිනමින් ඉදිකෙරෙනු ඇත. දැනට පොල්ගොල්ලට පැමිණෙන සී ප්ලේන් ව්‍යාපෘතිය සැලකිය යුතු වර්ධනයක් පෙන්වීම තුළින් කියාපාන්නේ පල්ලෙකැලේ ගුවන් තොටුපළ වැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගන්නා බවය.

23 January 2012

මහනුවර නගරය (ලෝක උරුම නගරය)

නමේ මුලාරම්බය

ඓතිහාසික ලේඛනයන්ට අනුව මහනුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට 'සෙංකඩගලපුර' යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ 'සෙංකන්ඩ' නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ 'සෙංකන්ඩ' නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි. [6]. පසුව ලංකාවේ අගනුවර වූ බැවින් වත්මන් නම වන මහනුවර හෙවත් කෙටියෙන් නුවර යන නාමය භාවිතයට පත්ව ඇත. "කැන්ඩි" යන ඉංග්‍රීසි නාමය කන්ද උඩ රට යන සිංහල නාමයෙන් විකාශනය වුවක් බව වඩාත් පිළිගත් මතයය්. පෘතුගීසින් කන්ද උඩරට කෙටියෙන් "කන්ඩියා (Candea)" නමින් හඳුන්වා ඇති අතර පසුව එය "කැන්ඩි (Kandy)" යන වත්මන් නමට පරිවර්තනය වී ඇත.

මහනුවර රාජධානිය

1592 වර්ෂයේ දී මහනුවර ශ්‍රී ලංකාවේ අවසාන ස්වාධීන රාජධානියෙහි අග නගරය බවට පත් විය. 16, 17, 18 යන ශත වර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින 'උඩරට ගිවිසුම' මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය. [7] ඉන්පසු බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව 1818 දී සහ 1848 කැරලි ක්‍රියාත්මක විය. ඉන් පසු පාලනයේ ප්‍රතිසංස්කරන ගනනාවකට පසු Dominion තත්ත්වය යටතේ 1948 පෙබරවාරි 4 දින මහනුවර ඇතුලු ශ්‍රී ලංකාව නැවතත් ස්වධීන රාජ්‍යයයක් බවට පත් විය

පුරාණේ භාවිතා කළ නාමය

ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර

මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු

[!] සේනාසම්මත වික්‍රමභාහු (මහනුවර පලමු වරට පාලන මද‍යස්තානය වශයෙන් තොරාගත් රජු)
[!] දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඥාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
[!] කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැතිව රජවීම
[!] දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව නාමිකව රජවීම)
[!] I වන විමලධර්මසූරිය රජ‍: 1591-1604
[!] සෙනරත් රජ (සේනාරත්න): 1604-1635
[!] රාජසිංහ 2: 1629-1687
[!] විමලධර්මසූරිය 2: 1687-1707
[!] ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු: 1707-1739
[!] විජය රාජසිංහ: 1729-1747
[!] කීර්ති ශ්‍රී රාජසිංහ: 1747-1782
[!] රාජාධි රාජසිංහ: 1782-1798
[!] ශ්‍රී වික්‍රම රාජසිංහ: 1798-181

මහනුවර නගරය

මහනුවර නගරය සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරයයි. වර්තමානයේ ශ්රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහිය. මෙය කඳුවලින් වටවී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්රීග ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්රව වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්රිවක්ක වලින් සැදුම් ලත් මධ්ය ම පළාතේ අගනගරයයි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

කාලගුණය

මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මෙ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය

ආර්ථිකය

ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත.

වැදගත් ස්ථාන

[!] ශ්‍රී දළදා මාලිගාව
[!] බෝගම්බර වැව
[!] පේරාදෙණිය උද්භිද උද්‍යානය[9]
[!] මහනුවර ජනාධිපති මන්දිරය
[!] පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය
[!] අස්ගිරිය අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටිය
[!] රැජිණ හෝටලය
[!] මහනුවර සිටි සෙන්ටර් (මෙය මහනුවර නගරයට අලුතින් ම එකතු වු ස්ථානයකි. මෙහි ගෘහනිර්මාණ ශිල්පය ඉතා සුවිශේෂි එකකි)

22 January 2012

මහනුවර සතර මහා දේවාල

ශ්‍රී නාථ,ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන දේවාල තුන ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටා ඇති අතර මහනුවර ශ්‍රී කතරගම දේවාලය කොටුගොඩැල්ල වීදියේ නගරය මධ්‍යයේ පිහිටා ඇත. මෙයින් නාථ හා පත්තිනි දේවාල දෙක දළදා මාළිගා චතුරශ්‍රය තුළ ප්‍රාකාරයකින් වටවී තිබෙනු දැකිය හැකිය. ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්ලයන්හිදි මෙම සිව් මහා දේවාලය ද වැදගත් වේ. විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කිර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට මෙම දේවාල හතර නාථ විෂ්ණු කතරගම පත්තිනි යන අනු පිළිවෙලට පෙරහැරේ ගමන් කරනු දක්නට ලැබේ.

ශ්‍රී නාථ දේවාලය

ඇසළ පෙරහැර මංගල්ලයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහැර නාථ දේවාලයේ පෙරහැරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. ගම්පල රාජධානිය කොට ගත් තුන්වන වික්‍රමබාහු රජු ( ක්‍රි.ව 1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා රාජපුරුෂයන් මගින් ජය භූමියක් සෙවීය. ඒ අනුව සෙංකණ්ඩ නම් බමුණා රාජපුරුෂයන්ගේ ඉල්ලීම අනුව තමා සිටි ලෙන අසලින් ගල්කැට කිපයක් රැගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබු පදුරකට වීසි කළ විට ඉන් සුදු හාවෙකු මතු විය. තවත් ගල් කැටයක් වීසි කළ විට සිවෙලෙකු මතු වු අතර, එම සිවලා විසින් හාවා ලූහුබදිනු ලැබීය. හාවා තමා සැග වීවී සිටි පදුර අසල ගස් බෙනය දක්වා දුව විත් ආපසු හැරී සිවලා පසුපස ලූහු බැන්දේය යන සිද්ධියක්ද, කොටියකු විසින් ලූහුබදිනු ලැබු මුවෙක් මෙම භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලූහුබදින ලද සිද්ධියක් ද, යන ආශ්චර්යවත් දේ අනුව මෙය ජයභූමියක් වශයෙන් සෙංඛණ්ඩ නම් බමුණා වෙතින් දැන රජතුමාට දැන්වීමෙන් පසු තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම ස්ථානයෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ගොඩ නැන්වු බව කියවේ. බමුණාගේ නමින් එම නගරය සෙංකඩගලපුරය නම් වී ඇතැයි පුරා වෘත්තයන්ගෙන් කියැවේ. එසේම චුලබෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජු දවස නාථ නම් බ්‍රාහ්මණයෙකු විසින් ගෙන එන ලද දෙතිස් පලරු බෝධින් වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ නම් වී යැයි පැවසෙන මතයක් ද පවති.

මෙම දේවාල ගොඩනැගිල්ල සෙංකඩගලපුර ඇති පැරණිම ගොඩ නැගිල්ලකි. ශ්‍රී දළදා මාළිගාවටත් පෙරාතුව මෙම ගොඩනැගිල්ල ඉදිකළ බව කියවේ. මහනුවර රජවරු ඔටුනු පැළදවීම. කඩු කරලීම සිදුකළේ ද රජුට නමක් තැබීමේදි පුස්කොළ වල ලියන ලද නම් කිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක් තෝරාගැනිම සිදුකළේ ද නාථ දෙවියන් ඉදිරියේය. කප් සිටුවීමේදි කපෙහි මුල් කොටස බෙදාදෙනුයේ ද, දිය කැපුම් මංගල්ලයේදි පළමුව ගැටඹේ තොටට බැසීමට හැක්කේ ද නාථ දේවාලයටයි. නාථ දෙවියන්ගේ වර්ණය කහ වශයෙන් ද හංසයා රථය වශයෙන් ද යොදා ගැනේ.

ශ්‍රී විෂ්ණු දේවාලය

ඇසල පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතර දෙවනුවට ගමන් කරනුයේ විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ගුරුළු වාහනාරුඩව දස අවතාරයෙන් පෙනිසිටිමින් සියලූ ලෝ සතුනට සෙත් ශාන්තිය සලසන මතු බුදු බව පතන, බුද්ධ ශාසන භාරධාරිව ආරක්ෂාව සලසන විෂ්ණු දෙවියන් වෙනු වෙන් මෙම දේවාලය කැප කොට ඇත. මෙම දෙවියන් වෙනුවෙන් කැපවු ප්‍රධාන දේවාල කිපයක්ම දිවයිනේ පිහිටා තිබේ.

කොලොන්තොට සිට මහනුවරට විහිදී ඇති ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබෙන අලූත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැපවුනු එවැනි පැරණිතම දේවාලයකි. පැරණියේදි මහනුවර ඇසල මහා පෙරහැරට පෙරින් පෙරහැර පැවැත්වෙන අලූත් නුවර දේවාලයේ සිට කප පේකොට සිව් මහා දේවාලයන්ට කප් සිටුවීම සඳහා භාරදුන් බව කියවේ.

මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැගිමෙන් අනතුරුව මහ දේවාලය වශයෙන් එය හැදින්වීමට පටන් ගති. රජවරුන් අභිශේෂකයෙන් පසු නළල් පටය බදිනු ලැබීමේ චාරිතරෙන්ය ඉටුකරනු ලැබුයේ මෙම දේවාලයේ සිට බව කියවේ. ඇසළ මහා පෙරහැරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත් පෙරහැරින් පසු සිදුවන වලියක් නැටුම පැවැත්වෙන දේවාලය වශයෙනුත් මෙම දේවාලය සුවිශේෂ ස්ථානයක් ගනි.

ශ්‍රී පත්තිනි දේවාලය

ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලි වලින් එක් ගොඩනැගිල්ලක් වශයෙන් පත්තිනි දේවාලය ද සැලකේ. පති භක්තිය රැකි උත්තම කාන්තාවක් ලෙස පුජෝපහාරයට පත්වන පත්තිනි දේව මැණියන් සත් වාරයක් ඉපදී ඇතැයි, ජනපරාන්වාදයන්හි දැක්වේ. වරෙක ජලයෙන් ද, තවත් වරෙක මලෙන් ද, තවත් වරෙක නයි කඳුලෙන් ද, තවත් විටෙක කදුරු පොත්තෙන් ද, තවත් විටෙක පිණි බිදුවෙන් ද, තවත් වරෙක හෙණෙන් ද, අවසානයෙහි අඹෙන් ද, උපන් බව පත්තිනියාදින්නෙහි සඳහන් වේ.

විශේෂයෙන් පත්තිනි ඇදහිල්ල තුළින් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත් සැලසෙන බව විශ්වාස කෙරෙන අතර, සැගවුණු ලෙඩ රෝග, කුෂ්ට රෝග, සුවපත් කරගැනිමට හා දරුවන් නොමැති අයට දරුවන් ලබාගැනිමට භාර හාර වන, උත්තම දේවතාවියක් ලෙස පත්තිනි දේව මැණියෝ අදහති.

පත්තිනි දේවාලයේ පෙරහර ඇසළ පෙරහරේ අවසානයට ගමන් ගන්නා දේවාල පෙරහැරයි. මෙම දේවාල පෙරහැරේ වැඩමවන ඇතා පිට බැඳි රන්සිවිගෙය තුළ තැම්පත් කර තිබෙනුයේ පත්තිනි දේව මැණියන්ගේ රනින් නිමවු කුඩා ප්‍රතිමා වහන්සේ නමකි.

ශ්‍රී කතරගම දේවාලය

14 වන සියවසරේදි පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය 16 වන සියවසරේදි වඩාත් ජනප්‍රිය විය. මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවි නමින් කැපවී ඇත. කැති නැකතින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත්තේය. මුහුණු සයකින් හා අත් දොළොසකින් රක්න වර්ණයෙන් මයුරාපිට වැඩ සිටින කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තනයන් අතර කාවඩි නැටුම සුවිශේෂි තැනක් ගනි.

පෙරහර මංගල්ලය



වර්ෂයේ ජූලි හෝ අගෝස්තු මාසයේදී ඇසළ පෙරහර මංගල්,ය සිදුකෙරේ. දෙස්විදෙස් බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ නෙත්සිත් පිනවන මෙම පෙරහර මංගල්ලය ලෝපුරා පරෙය කටය. පිළිවෙලින් නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සතර දේවාලයන්හි පෙරහර ද ශරීල දළදා පෙරහරට සම්බන්ධ වේ. ජූලි හෝ නිකිණි මාසයන්හීදී සිදු කෙරෙන දේවාලයන්හි කප් සිටුවීම හා දේවාල අභ්යසන්තර පෙරහර පහක් ද කුඹල් පෙරහර පහක් ද රන්දෝලි පෙරහර පහක් ද මධ්ය ම රාතරිදේවයේ ගෙඩිගේ විහාරයට පෙරහර කර`ඩුව වඩමවන පෙරහරක් ද දහවල් පෙරහරක් ද ඇතුළත් ඇසළ පෙරහර මංගල්ලය වීදි සංචාර කොට පූජා පවත්වයි. ඇසළ පෙරහර ලොව විචිතරපෙ පෙරහර මංගල්ලයකි.



වෙසක් දිනයේදී වෙසක් පෙරහැර මංගල්ලය පැවැත්වෙන අතර එදිනම වාහලනාග උපසම්පදා පෙරහැර ද ආරම්භ වේ. උපසම්පදා පෙරහැර පෝය දින පහක් තුළ පැවත්වේ. මල්වතු මහා විහාරයෙන් සාමනේර වරු පස්නමක්ද අස්ගිරි මහා විහාරයෙන් සාමනේර භික්ෂූන් පස්නමක්ද උපසම්පදා පෙරහැර මංගල්,යට සහභාගී කරවා ගනිති. මෙවැනි උපසම්පදා පෙරහර පහක් පමණ පැවැත්වීම සිදුවේ. එදා රජවාසල විසින් පිරිකර පූජා කරන ලදී. අද දියවඩන නිලමේ තුමා විසින් වාහල නාග නම් ඔටුන්න පැළඳවීම (දියවඩන නිලමේතුමා නොමැති අවස්ථා වලදී කාරිය කරවන කෝරාළ විසින් මෙම චාරිතර වාය ඉටුකරනු ලබයි.* හා අට පිරිකර පූජා කිරීම සිදුකෙරේ. එසේම පොසොන් පොහෝ දිනයේදී දර්ශනීය පොසොන් පෙරහර මංගල්ලය වීදි සංචාරය කරනු ලබයි.

කුඹල් පෙරහැර

පස් වන දවස අවසානයේ එළඹෙන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරිය කරවන රාළ මාළිඟාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරැ, රීදී අත්පන්දමි, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාත් කුඹල් ‍පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වේ. මෙයට ගම් දහයේ විදානෙලා, බෙරවාදකයින්, සහ නැට්ටුවන්ද සහභාගී වේ. මෙම පෙරහැරට ධාතු කරඩුව වඩම්මන අතර අලි ඇතුන්ද සහභාගී කරවති. පළමු දින පහ තුළ දේවාලය වටා ගමන් ගත් දේවාල පෙරහැර හතර ඊ ළග දිනයේ මාළිඟාවේ පෙරහැරට එක් වී මෙසේ වීදි සංචාරය කිරීම කුඹල් පෙරහැ‍රේ ලක්ෂණයයි.


රන්දෝලි පෙරහැර

රන්දෝලි පෙරහැර සදහා මාළිඟාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඩුව ගෙන යන ඇතා සරසනු ලබයි. නිලමේලාද තම තමන්ට නියමිත දේවාලය හා මාළිඟය තුළ සූදානමි වෙයි.

පළමු වෙඩි හඩත් සමග සිව් මහා දේවාල පෙරහැර මාළිඟාව අසළට ගමන් කිරීම අරඹත්ම දළදා මාළිඟායේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කයෝ දිය වඩන නිළමේ කැද‍වා ගෙන එන්නට ඔහු සිටින කුටියට ගොස් වැද නමස්කාර කොට ඔහු කැඳවාගෙන ආ යුතු වේ. එවිට තූර්ය නාද පැවැත්වෙන අතර දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ.



මෙයට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළනු ලැබේ. හදුන්කුඩම ළගදි කත්තියන රාළගෙන් වතුර කෙණ්ඩියක් ගෙන පිරිසිදු වු බව දැනගන්නා දියවඩන නිළ‍මේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවනු ලැබේ. ඒ අතර ඔහු දෙපස අත්පන්දම් හා වඩ තලඅතු අල්ලන අය තම තමන්තමන්ගේ රාජකාරී කරමින් ගමන් කරනු දැකිය හැකිය. අවසාන වෙඩි මුරයත් සමග පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේට සමන්පිච්ච මල් මාලාවක් පළඳවයි.

පෙරහැරේ ගමන් කරන පුද්ගලයින් හා ඒ ඒ අයගේ කාර්යය සංසිද්ධි.

කසකරුවෝ

ගිනි බෝල කරුවෝ සහ බෞද්ධ කොඩි ගෙන යන්නෝ

කොඩි ගෙන යන්නෝ

පෙරමුණේ රාළ (ඇතකු පිට නැගී ලේකම් මිටිය සහිතව)

හේවිසි වාදකයෝ (දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව )

ගජනායක නිළමේ (ඇතකු පිට රිදී කරඩුවක් සහිතව)

ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුව

කාරිය කෝරාළ

නැට්ටු‍වෝ හා ‍බෙරවාදකයෝ

කවිකාර මඩුවේ ශිල්පීහු (දළදා ගුණ ගයමින් ගමන් කරති)

දළදා කරඩුව රැගත් ඇතා (පාවඩ මතින් යන අතර දෙපස දෑලේ ඇත්තු දෙදෙනෙක් යති.)

වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයෝ

දියවඩන නිළමේ