24 January 2012

නව මහනුවර නගරය


පාරිසරික අගයකින් හා ඓතිහාසික වටිනාකමකින් සුසැදි ලොව සුන්දරම හරිත නගරය ලෙසින් මහනුවර නගරය ලෝක සංචාරක පුරවරයක් බවට පත්කිරීමේ ක්‍රියාදාමය වත්මන් රජය විසින් ආරම්භ කොට ඇත.

රාජ්‍යත්වයේ සංකේතය වූ ශ්‍රී දළදා වහන්සේ මහනුවර වැඩසිටීම නිසා බලයට පත්වන සෑම රාජ්‍ය නායකයෙකුම සිය පදවිය ලබා ගැනීමෙන් පසු ප්‍රථම නිල ගමන ලෙස මහනුවරට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ආශිර්වාද ලබාගැනීම සම්ප්‍රදායක් ලෙස ඉටු කරනු ලබති. එම නිසා බලයේ සිටින රාජ්‍ය පාලකයා හා මහනුවර අතර පවත්නේ නොබිදෙන සම්බන්ධතාවයකි.

ඓතිහාසික හා පාරිසරික සාධක රැසක් දායාද වූ මහනුවරට දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ලැබෙන ආකර්ෂණය කිසිදා නෙවෙනස්ව පවතී. සකල ලෝ වැසි බොදු බැතිමතුන්ගේ ගෞරව පූජෝපහාරයට පාත්‍රවූ ශ්‍රී දළදා වහන්සේගේත්, හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වූ මහනුවර ශ්‍රී දළදා පෙරහරත් මේ සංචාරක ආකර්ෂණය තීව්‍ර කරයි.

ලංකාතිලකය, ගඩලාදෙනිය, ඇම්බැක්කේ වැනි ඓතිහාසික සිද්ධස්ථාන මෙන්ම පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ වැනි සෞන්දර්යාත්මක නැරඹුම් ස්ථාන මහනුවර කේන්ද්‍රකොට පිහිටා තිබීම නිසාම නගරයේ ජනාකීර්ණ බව නොඅඩුව පවතී.

එසේම පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, අස්ගිරිය ක්‍රීඩාංගනය සහ වික්ටෝරියා ජලාශයට මායිම්ව සුන්දර කඳු වලල්ලකට මැදිව ආසියාවේ ඇති සුන්දරම දිගන ගොල්ෆ් ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන වල පවත්වන තරග නිසා ද මහනුවර නගරය වැඩිවන සංචාරකයන්ට ගැලපෙන පරිදි සකස්වීම අනිවාර්ය වේ.

හන්තාන කඳු පන්තියෙන් හා උඩවත්ත වන අරණට මායිම්ව පිහිටි මහනුවර නගරයේ දේශගුණය ඕනෑම රටක සංචාරකයෙකුට හිතකර තත්ත්වයක් පැවතීම රජය සැලසුම් කර ඇති හරිත නගර නිර්මාණය සාර්ථක වීමට සොබා දහමෙන් ලද මහගු දායාදයකි. පරම්පරාවෙන් පරම්පරාවට ශ්‍රී ලාංකිකයෝ ඓතිහාසික නගරයට පැමිණ වන්දනා මානවල නිරත වුවද එදා මෙදා තුර මේ සුවිශේෂි නගරයේ වෙනස්කම් හෝ සංවර්ධනයක් දක්නට නොලැබිණි.

මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය

මහනුවර කොළඹ මාර්ගය ශ්‍රී ලංකාවේ අංක 01 මාර්ගයයි. මහනුවර දුම්රිය මාර්ගය මෙන්ම මහාමාර්ගය ද යටත් විජිත යුගයේ නිර්මාණ වේ. කොළඹ සිට අඩු දුරකින් මහනුවරට පැමිණෙන අයෙකු භාවිත කළ යුත්තේ මෙම මාර්ග දෙක පමණි. නිදහස ලබා වසර 60 ක් ශ්‍රී ලාංකිකයෝ මේ මාර්ගය භාවිතා කළද එහෙත් අංක 01 පාර පහල කඩුගන්නාවේ සිට කඩුගන්නාව දක්වා කොටස එදා භාවිතා කළ පටු මාර්ගයම තවමත් අපි පරිහරණයේ යෙදෙමු. සුළු සුළු වෙනස්කම් කාපට් ඇතිරීම් සිදු කළද වැඩිවන වාහන තදබදයට ගැලපෙන පරිදි මෙම මාර්ගය පුළුල්වීමක් සිදුවූයේ නැත. ඊට විකල්පයක් ලෙස කොළඹ නුවර මංතීරු 04 කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා කටයුතු පිලියෙළ කොට ඇත. කොන්ක්‍රීට් කුළුණු මත ඉදිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන මෙය කඩවත සිට අඹේපුස්ස දක්වා එක් පසෙකින්ද මහනුවර සිට අඹේපුස්ස දක්වා අනෙක් පසෙන්ද ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය.

කුණ්ඩසාලය පරිපාලන නගරය

මහනුවර හරිත නගරයක් ලෙසින් ලෝක සංචාරක පුරවරයක් ලෙස ඉදිවන විට මධ්‍යම කඳුකරයේ ප්‍රධාන පරිපාලන නගරය කුණ්ඩසාලයේ ඉදිකිරීමට ඇවැසි මූලික කටයුතු දැන් සම්පූර්ණ කරමින් සිටී. මහජන අවශ්‍යතාවයන් සඳහා වූ පරිපාලන කටයුතු සියල්ල කුණ්ඩසාලයේ නව නගරය තුළින් සම්පූර්ණ කරගැනීමට හැකිවන පරිදි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

දැනට පල්ලෙකැලේ ක්‍රියාත්මක කර්මාන්ත පුරයත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයත් නිසා මෙම ප්‍රදේශ සීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන සිටී. එසේම නව සිර කඳවුර මධ්‍යම පළාත් සහා කාර්යාල ඒකකය දැනට වැඩ නිමවෙන මහා පරිමාණ ඉදිකිරීම් ය. මහවැලි ගඟෙන් හා හුළු ගංගාවේ පහස ලබන හුන්නස්ගිරි කඳු පන්තියෙන් වටවුණු කුණ්ඩසාලය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන හා ගුවන් තොටුපල සහ ඕනෑම මට්ටමේ මහා පරිමාණ ව්‍යාපෘතින්ට සුදුසු පාරිසරික තත්ත්වයන්ගෙන් අනූන භූමි භාගයකි.

හරිත නගර සැලසුම

ඓතිහාසික වටිනාකම හා පුරාවිද්‍යාත්මක සාධකයන්ට කිසිදු හානියක් නොවන පරිදි මහනුවර නගරය සංවර්ධනය කිරීම විශේෂිත වේ. ඓතිහාසික නගරයකට පිවිසෙන ද්වාරයක් මෙන් ඉපැරණි ශ්‍රී විභූතිය දැක්වෙන පරිදි නව හරිත නගරයට පිවිසෙන නගර පිවිසුම ඊරියගමදී ඉදි කෙරෙනු ඇත. උමං මාර්ග, ප්‍රවේශ මාර්ග, සංචාරක නිකේතන වැඩි දියුණු කිරීම මෙන්ම බෝගම්බර සිර කඳවුර පල්ලෙකැලේ ස්ථාපිත කිරීමට ද කටයුතු යොදා ඇත. එහි ඉදිකිරීම් නිමවීමට ආසන්නව පවතී.

සාම්ප්‍රදායික කර්මාන්ත

ප්‍රදේශයේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත විදෙස් වෙළද පොළට හඳුන්වා දීමට කුණ්ඩසාලයේ කලාපුරය මහඟු මෙහෙවරක් ඉටු කරනු ලබයි. හණ ආශි‍්‍රත කර්මාන්ත මෙන්ම පිත්තල ආශි‍්‍රත නිර්මාණ කටයුතු ද විශේෂයෙන් උඩරටට ගැලපෙන සම්ප්‍රදායන්ට අනුකූලව නිපදවනු ලබයි. රට අභ්‍යන්තරය නගර නිර්මාණය තුළින් රජයේ ඉලක්කය ආසියාවේ ආශ්චර්ය කරා ශ්‍රී ලංකාව ගෙන යාමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ප්‍රමුඛ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශේෂ වැඩ පිළිවෙළ රැසක් ක්‍රියාවට නංවා ඇත.

පල්ලේකැලේ නව ගුවන් තොටුපළ

කුණ්ඩසාල පරිපාලන නගර සීමාව තුළ ඉදිවෙන නව අභ්‍යන්තර ගුවන් තොටුපළ නිසා මහනුවර නගරයට සංචාරක පැමිණීමත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ප්‍රේක්ෂක පැමිණීම වැඩිවීමටත් හේතු වනු ඇත. මෙම ප්‍රදේශයේ පවතින යහපත් භූ විෂමතා ලක්ෂණ නිසාත් අවම ජනාකීර්ණභාවයත් ගුවන් තොටුපළකට උචිත පරිසරයක් නිර්මාණය කරදී ඇත. ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ මහනුවරට ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නිර්මාණය කිරීමේ යෝජනාවක් පැවතියද එය වැළකී ගියේ ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලුවක් නිසාය. මෙවර පල්ලෙකැලේ ඉදිවන නව ගුවන් තොටුපලට ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලුවක් නොමැති බැවින් එය කඩිනමින් ඉදිකෙරෙනු ඇත. දැනට පොල්ගොල්ලට පැමිණෙන සී ප්ලේන් ව්‍යාපෘතිය සැලකිය යුතු වර්ධනයක් පෙන්වීම තුළින් කියාපාන්නේ පල්ලෙකැලේ ගුවන් තොටුපළ වැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගන්නා බවය.

No comments: