25 June 2012

ඉංග්‍රීසීන් විසින් අල්ලාගත් මහනුවර නගරය පැය දහයකින් යළිත් සිංහලුන් අතට..෴

රණකාමිත්වය සිංහලුන්ට කාවැදී තිබුණේ අද ඊයේ නොව විජය කුමරු ලක්‌දිවට ගොඩබට අවධියේ සිටමය. වංශකථාවන්ට අනුව මහ රෑ මැදියමේ යුදවදින රටක්‌ තිබුණේ කොහිද? ඒ මේ අපේ ශ්‍රී ලංකාවයි. විජය රජුගේ පිරිස හා අපේ කුවේණි කුමරියගේ පිරිස අතර සටන් ඇවිළුණේ මහ රෑ ජාමේය. ඒ අපේ ඉතිහාසයේ රසැති තොරතුරුය.

අදින් වසර දෙසීයකට පෙර සිදුවූ මෙම ඉංග්‍රීසි සිංහල ගැටුම එදා අපේ රටේ මහත් ආන්දොaලනයට ලක්‌වූ බව නම් සැබෑවකි. සිංහලයන් පිළිබඳව වැරදි ලෙස වටහාගත් ඉංග්‍රීසීන් අමුඩය ගැසූ සිංහලයන්ගෙන් බඩපුරා ඉල්ලාගෙන කෑවේ ඉතා හොඳහැටි මතක හිටින්නටය. එහෙත් අපි ඒ ගැන ආඩම්බර ලෙසින් කතා නොකරන්නේ කුරහන්වලින් යෑපුණ අපේ වීර සිංහලයෝ මස්‌කන කලිසම් අඳින සුද්දන්ව පැරදූ නිසාදැයි සිතේ· නමුත් අප තවමත් භාවිතයට ගන්නේ සුද්දන් විසින් ලියාදුන් ඉතිහාසය නිසා එහි වරදක්‌ දකින්නටද නැත. 1803 වසර ඉංග්‍රීසීන්ට තදියම් වසරක්‌ විය. මක්‌නිසාද යත්, පෙරදිග පාලනය කළ කොම්පැණිකාරයන් මෙහි එවූ ආණ්‌ඩුකාරවරුන්ට කීවේ වහා දෙකින් එකක්‌ බේරාගන්නා ලෙසයි. එක්‌කෝ යටත් විජිතවාදය නැතහොත් රට අතහැරීම. මින් ඉංග්‍රීසින් මුල්කොට සලකන ලද්දේ කෙසේ හෝ උප්පරවැට්‌ටි යොදා අපේ රට අල්ලාගැනීමත්, ඊට පසු රිසිසේ රටේ සම්පත් භුක්‌ති විඳීමත්ය.

"පෙඩ්රික්‌ නෝර්ත්" ආණ්‌ඩුකරු එනතුරු මෙහි සිටි සියලු ඉංග්‍රීසි ප්‍රධානීන් මේ රට ගැන දැන සිටියේ තැප්‍රොබේන් නම්වූ සියලු සම්පත් උපදින පෙරදිග මුතු ඇටය ලෙසිනි. ඉතින් එයට ආශා නොකරන්නේ කව්රුන්ද? එම සම්පත් බහුල ලෙස ලබාගන්නට අකමැති වන්නේ මොන මෝඩයාද? මේ කල්පනා සිහියට ගත් ඉංග්‍රීසි පාලකයන් වහ වහා රට යටත්කොට ගැනීමට ඉව ඇල්ලූ අතර අපේ සිංහල පාවාදෙන්නන්ද ඊට රිටි බැඳ ඉනිමං තනා දුන්හ. 1803 දී සිදුවූයේද එයමයි· නමුත් සිංහල රටේ සිටි එකම පාලකයා වූ රජු මේ එකද පුද්ගලයෙක්‌ කෙරෙහිවත් විශ්වාසය තබා නොගත්තේ දියරෙද්දෙන් බෙල්ල කපනවුන් අදමෙන් එදත් සිටි නිසාය. 1798 දී ලංකාවේ ආණ්‌ඩුකරු ලෙසින් පත්ව ආ පෙඩ්රික්‌ නෝර්ත් සිංහල රදල ප්‍රධානීන් තම වසඟයට ගනිමින් උඩරට යටත්කර ගැනීම සඳහා වසර කීපයක්‌ම අඩයාලම් දැමුවේ තම ශූර චරපුරුෂ සේවයද යොදවා ගනිමිනි. නමුත් 1815 දී සිදුවූ මහා පාවාදීම අත ළඟට ලංකරගැනීමට ඔහු සමත්වූයේ නැත. කිසිදු දැන්වීමකින් තොරව හදිසියේ සිදුකළ මෙම පහරදීම නිසා අපේ උඩරට ජනතාවට සිදුවූයේ හෙයියම්මාරුවක්‌ පමණි. එසේ කියන්නේ එදා සිංහලුන්ගේ කපටිකම තේරුම්ගත් ඉංග්‍රීසින් ඊට පසුව එවැනි ගල් මෝඩකම් කිරීමට කිසිවිටකත් පෙළඹුණේ නැති නිසාය. සුද්දන්ට එම සටනේදී වැරදුණ තැන් කීපයක්‌ විය. එකක්‌ නම් මේ රටේ මාග_ පද්ධති උන්ට ඕනෑ සේ ලෙහෙසි පහසු ලෙසින් නොතිබීමයි. අනෙක්‌ කරුණ අපේ රටේ ඇති අව් වැසි කාලගුණ රටා පිළිබඳ හරි අවබෝධයක්‌ නොමැතිකමයි. මේ හැමටමත් වඩා සිංහලයන්ගේ කපටි ශූර බුද්ධිය ඔවුන්ට තේරුම්ගත නොහැකිවීමයි. මේ පිළිබඳව රොබට්‌ නොක්‌ස්‌ ද අදහස්‌ පළකර ඇත. එයින් කියෑවෙන්නේ සිංහලයන් සතු ශක්‌තිය හා ශූර වීර ක්‍රියා පිළිබඳවයි. 1803 පෙබරවාරි මාසයේදී ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරිවරයා වශයෙන් ආණ්‌ඩුකාර පෙඩ්රික්‌ නෝර්ත් තම හමුදා සේනාංකවලට අණ දුන්නේ තුන් පැත්තකින් මහනුවර නගරය වටලා පහර දෙන ලෙසත් සිංහල රජු හැකිනම් පණපිටින් අල්ලාගන්නා ලෙසත් නැතහොත් සමූල ඝාතනයෙන් මුළු කන්දඋඩරට යටත් කරන ලෙසත්ය. නමුත් අපේ වීරෝදාර සිංහල රණවිරුවන් කල්තියා දැනගත් මෙම "ධවල කුමන්ත්‍රණය" පරදවාලීමට සමත් වූයේ එකාමෙන් කටයුතු කිරීම නිසා බව අපූරුවට ඉතිහාසයේ ලියෑවී ඇත. අනුන්ගේ කතාවලට හොඳට ඇහුම්කන්දීමට සමත් සිංහලයෝ සියලු උප්පරවැට්‌ටි යොදා තම මවුබිමේ ජයග්‍රහණය වෙනුවෙන් එසේ කැප වූ අතර මෑතදී ද එම කැපවීම අපි ඉතා හොඳින් දුටුවෙමු. එදා මහනුවර ඉංග්‍රීසීන්ගෙන් බේරාගත් ඒ රණවිරුවන්ගේ "මුණුබුරන්" මේ ඊළාම් සටන දිනීමට ද හවුල් වන්නට ඇත. ඒ සිංහල රටේ ඇති සම්භාව්‍යත්වයයි.

1803 පෙබරවාරි 20 වැනිදා උඩරට නගරය තම යටතට ගත් ඉංග්‍රීසි හමුදා මෝසම් වැසි සමයේත් අසනි වැසි සමයේත් අසීරුවෙන් කල් ගෙවූ අතර නුහුරු නුපුරුදු පරිසරයක ඔවුන් කල් ගෙව්වේ කුසීතකමෙන් යුතුවය. මේ කාලය තුළ අවට ගම්වල ඉතුරු වූ ගව මඩුවක්‌, කුකුල් කොටුවක්‌ පැහැරගත් ඔවුන් එයින් සෑහීමට පත්විය. නමුත් නගරය අතහැර ගිය රදල ප්‍රධානීන් ඇතුළු රටට හිතවත් පිරිස්‌ දිවා රාත්‍රි නොනිදා කතිකා කළේ සුද්දන් උඩරටින් පන්නා දමන අයුරුය. ඒ දිනය ළඟාවිය. 1803 ජුනි මස 24 දා හදිසියේ පාත් වූ සිංහල රණවිරු කුඩා කණ්‌ඩායම් ඉංග්‍රීසීන්ට හතරවටින් වටලා පහර දෙන්නට විය. කණ්‌ඩායම්වල පිරිස්‌ ක්‍ෂණයකින් වැඩිවූයේ බලා සිටියදීමය. සන්නාහ සන්නද්ධ පිරිස්‌ ද සිටි අතර අපේ සමහර වීර සෙබළුන් අත වූයේ කඩුව නැත්නම් දෙපැත්තම කපා හෙළිය හැකි ලන්සයයි.

ජනප්‍රවාදවල කියෑවෙන පරිදි රජුට හිතවත් බිම්තැන්නේ හා බිංගොඩ වැදි පිරිස්‌ ද දුනුවායන් මෙන් මේ යුද්ධයට සහයෝගය දුන් බව කියෑවේ. මනා ලෙස පුහුණුව ලත් ඉලක්‌කයට වෙඩි තැබිය හැකි "ලෙෆ් රයිට්‌" යනුවෙන් අණදෙන හමුදා භට කණ්‌ඩ කිහිපයක්‌ පැය දහයක්‌ වැනි සුළු කාලයකදී බඩ පුරා කෑවේ අපේ සිංහල කුරක්‌කන් කන කොල්ලන් අතිනි.

ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී "මේජර් ඩේව්" ලඡ්ජාව පසෙක තබා ජීවිත හානි වළක්‌වා ගැනීම පිණිස වහා සුදුකොඩි එසවීමට අණකරන ලද අතර එදා මුළු මහනුවර නගරයම මගුල් ගෙදරක්‌ මෙන් විය. මෙම සටනට සැරසුණ ඉංග්‍රීසි හමුදාව මහනුවර අවරෝධනය කිරීම සඳහා යොදාගත්තේ මහඔයේ දකුණු ඉවුර ආශ්‍රිත මිටියාවත් පෙදෙස්‌ තම රැක්‌ම සඳහා යොදා ගනිමිනි. ආරක්‍ෂාවට කේළාම් කිවූ සිංහල රදල පිරිස්‌ සහයෝගය දක්‌වන ලදී. බහුතරයක්‌ සිංහල පිරිස්‌ සුද්දන්ට අකමැති වූහ.

පළමුව දිවුලපිටියට ආසන්නයේත් (බඩල්ගම) දෙවනුව දඹදෙණියට ආසන්නයේත් (මැටියගනේ) කඳවුරු දෙකක්‌ ඉදිකරන ලද්දේ ඉංග්‍රීසි හමුදාවන්ට පහසුකම් සැපයීම පිණිසය. කොළඹින් පිටත් වූ දෙදහසක තරම් විශාල සේනාවකට මෙම කඳවුරුවල ආහාර පාන ගබඩා කර තබන ලදී. රාජකීය 51 සේනාංකය හා රාජකීය 19 වන සේනාංක ඊට අයිති විය. මීට අමතරව ගෝව ආදී ප්‍රදේශවලින් ගෙනෙන ලද සිපයි පිරිස්‌ද මීට අයත් විය. මෙම හමුදා මහනුවර වටකොට 20 වැනිදා අල්ලාගත් අතර ඒ වන විට කිසිවෙක්‌ නුවර සිටියේ නැත. මෙවැනි දෑ හුරු පුරුදු සිංහලයෝ ගම්බිම් වනසා කැලෑ වැදුණේ නියමිත කාලයේදී පහර දීමටය. ඒ අතරතුර ඉංග්‍රීසීන් අතරමඟ බිහි කළ ආහාර කඳවුරුවලට ද පහරදීමට සිංහලුන් කටයුතු යෙදුවේ ඉතා තීක්‍ෂණ ලෙසය. මේ ඉව වැටුණ ඉංග්‍රීසීන් එම කඳවුරු ද ඉවත් කරගති. ෂෂ රාජසිංහ රජුගේ බිසවගේ සොයුරෙක්‌ රජකමේ තැබූ ඉංග්‍රීසීන් පාළුගෙයි වළං බිඳින්නට පටන්ගත් අතර හඟුරන්කෙත "ගලඋඩ" නමැති ස්‌ථානයේ සැඟව ගත් රජු තම හිතවත් සිංහල ප්‍රධානීන් සමඟ කුමන්ත්‍රණ කළේ යළිත් මහනුවරින් ඉංග්‍රීසීන් පන්නා දමන අයුරු ගැනය. වැසි සමය ආරම්භ වීමත් සමඟම මාර්තු මස 13 වැනිදා පිළිමතලව්වේගේ ඉල්ලීම මත රජු ඇල්ලීමට විශේෂ හමුදාවක්‌ කර්නල් ලොග් යටතේ හා කර්නල් බේලි යටතේ හඟුරන්කෙතට යවන ලදී. 14 වැනිදා පස්‌වරුවේ හඟුරන්කෙත යටත් කරගත්ත ද රජු ඒ වන විට එහි නොසිටියේය.

සිංහල ජනයා රජු වසංකර සඟවා සියලු පහසුකම් ඇතිව වෙනත් තැනකට මාරු කළේ ඉංග්‍රීසීන් අතරම සිටි සිංහල චරපුරුෂයන් ගේ අවවාද මතය. මෙය පිළිමතලව්වේට මහත් මදිකමක්‌ වූ අතර ඉංග්‍රීසි හමුදාවට ආපසු හැරී එන්නට සිදුවිය. ඒ හිස්‌ අතින්මය.

මෙහිදී උපක්‍රමශීලී වූ රජු අපූරු නිවේදනයක්‌ කළේය. ඒ ජීවිතක්‍ෂයට පත්කරන සුදු ජාතික හේවා හිසකට රුපියල් දහයක්‌ හා කළු හේවා හිසකට රු. 5 ක්‌ තෑගි වශයෙන් පිරිනමන බවකි. සිංහල තරුණ සෙබළ ගැටවුන්ට මේ නිවේදනය රසවත් විය. තැන තැන කොටුකරගත් ඉංග්‍රීසි හේවායන් ද කුලී හෙවායන් ද ගරිල්ලා ප්‍රහාරවලින් මියගියේ ඊට පසුය. නොදන්නා ඝාතකයන් අතින් මියගිය සුදු ජාතික හේවා මළසිරුරු තැන තැන විය. මෙය නොදත් ඉංග්‍රීසි හමුදා කොටු තුළම සිරවී සිටි අතර වැසි සමයේ මදුරු වසංගතයට ද මුහුණ දුනි.

මාර්තු, අප්‍රේල්, මැයි අතර කාලය තුළ බොහෝ ඉංග්‍රීසි හේවායෝ මියගියේ වසංගත රෝග නිසාය. කොළඹට ඒමේ ගමන් අපහසුව තවත් බරපතළ අහිතකර තත්ත්වයක්‌ උදාකළේය. මේ සියල්ල විඳ දරාගත් ෆෙඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකරු තම මෝඩකම මොහොතකටවත් ප්‍රදර්ශනය වන්නට ඉඩ දුන්නේ නැත. මේ කටයුතු කාරණා සිදුවුණ අතර නැවත තමන් විsසින් පත්කළ රාජ අනුප්‍රාප්තික මුත්තුසාමි රජකමින් පහකර මැක්‌ඩෝවල්ගේ එකඟතා මත කුඩා හමුදාවක්‌ නුවර නතර කර වැඩි හමුදා පිරිස්‌ ආපසු කොළඹට හා ත්‍රිකුණාමලයට යවන ලද බැව් කියෑවේ. මේ හමුදා පිරිස්‌වලට ද මගදී ප්‍රහාර එල්ල වූයේ සිංහල ගරිල්ලා සටන්කරුවන් අතිනි. රජු අල්ලාගැනීමේ අදහස්‌ අත්නොහැරි ඉංග්‍රීසි ප්‍රධානීන් යළිත් 1803 ජුනි 13 වැනි දින "ඩේවිට" වහාම හඟුරන්කෙත ප්‍රදේශය වටලා රජු අල්ලා ගන්නා ලෙස නියෝග දුන්නේය. නමුත් ඒ වන විට පරිසරය ඊට යෝග්‍ය නොවන නිසා එය අපහසු බව ඩේව් කොළඹට දැන්වූ අතර අතිරේක හමුදා අවි සහ ආහාර වැඩි ප්‍රමාණයක්‌ එවන ලෙස ද දැන්වීය.

කොළඹින් යෑවු පණිවුඩයට අනුව ජුනි මස 26 වැනි දින ඒ සියල්ල ලබාදෙන බවට දැනුම් දුනි. සිංහල චරපුරුෂ සේවයේ දැන්වීම්වලට අනුව 26 වැනිදාට කලින් සිංහල හමුදා සියලු තන්හි රැස්‌ වී අවසන් තීන්දුවකට එළඹි අතර සිංහලයන්ගේ වාසියට හේතු වූ ඉංග්‍රීසි හමුදාවේ මැලේ භට පිරිසක්‌ සිංහල සේනාවන්ට සහය දීමට එකතු විය. ඒ සඳහා ආචාර වෙඩි මුර ද පැවැත්විණි. ගම හැර කැලෑ වැදුණ සිංහල හමුදා ජුනි 23 මධ්‍යම රාත්‍රිය වන විට තමන් සතු සුළු අවි හා වෙඩි බෙහෙත් ආදිය ද රැගෙන නගරය වට කළේය. පුංචි පුංචි කණ්‌ඩායම් වශයෙන් ගොනු වූ මෙම සිංහල හේවා පිරිස්‌ තමන්ට අණ ලැබෙනතුරු ඉවසා සිටියේ දෙකෙන් එකක්‌ බේරාගැනීමටය.

ගලගෙදර හා ගිරාගම ඉංග්‍රීසි අණුකණ්‌ඩවලට පහරදුන් සිංහලයෝ ඒවායේ ආයුධ පැහැරගත්තේ ඉංග්‍රීසීන් මරා දමමින්ය. හදිසි පණිවුඩ හුවමාරුවක්‌ නැත. මහවැලි ගඟ පිටාර ගලා ඇත. ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඩේවිට තරු විසිවුණේ ජුනි 24 වැනිදා අලුයම 4 වන විටය. රජමාළිගය, දළදා මාළිගය, නාථදේවාලය ආදී ප්‍රදේශ වසා සිටි සිංහල හමුදාව ඉංග්‍රීසීන්ගේ ගතේ හිරිගඩු නැංවුයේ මරණයේ සටහන ඉදිරියේ ඇඳී ඇති බැවිනි. සිංහලයෝ එකා මෙන් සටනට වැදුණාහ.

නගරය අත්හැර පලාගිය සිංහලයන් ආයුධ සන්නද්ධ වූයේ කෙසේදැයි ඉංග්‍රීසීන් තුළ මවිතය රජ කරවීය. 24 වැනිදා පස්‌වරු 2.00 වන විට මේජර් ඩේවි සුදු කොඩි ඔසවා පරාජය පිළිගති. මහනුවර සිංහලයන් දිනාගත් පසු ශ්‍රී වික්‍රම රජු නියෝග කළේ මුත්තුසාමි තමන්ට භාරදෙන ලෙසය. මීට එකඟ නොවූ ඩේවි ඇතුළු ඉංග්‍රීසි නිලධාරීන් සිරභාරයට ගත් රජු ඔවුන් සිරකරුවන් ලෙස සිරගත කළ අතර මුත්තුසාමි හා ඔහුගේ ඥතීන් වන අටදෙනෙක්‌ හිස ගසා මරණ වධයට පත්කළේ රාජාඥව අනුවය.

ඉංග්‍රීසීන්ට උඩරට පෙදෙස්‌වලදී ආගන්තුක සත්කාර ප්‍රදානය කළ සිංහලයන්ට ද රජුගෙන් දඬුවම් ලැබිණි. ඒ ජාතියට එරෙහිවීමේ වරද නිසාය. ඒ ගැන ජනප්‍රවාදවල අලංකාර තොරතුරු සටහන්ව ඇත. කෙසේ වෙතත් මෙම 1803 හටන සිංහලයන් එක මතයක සිට එකාවන්ව දිනූ සටනකි. එය අපේ වංශ කතාවේ අමරණීය සිහිවටනයකි 1948 පෙබරවාරි 4 ට එන්නට පෙර 1803 පෙබරවාරි 20 වැනි දින සිහිපත් කළ යුතුය.

  

උපුටා ගැනීම - සිංහලයා
ධර්මරත්න තෙන්නකෝන්

දළදා වහන්සේ අපට ලැබුණු හැටි ෴

ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවිය පසු කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ සල්උයනේ සඳුන් දරසෑය මත සිරුර ආදාහනය කළ පසු උන්වහන්සේගේ දැවෙන සොහොනට අනුගාමික දහසක්‌ දෙනා රන්, රිදී, මුතු, මැණික්‌ ආදී ආභරණ දහස්‌ගණන් විසිකළේ වාවාගත නුහුණු ශෝකය නිසාය. එම රන් රුවන් උණුවී නිර්මාණය වුනණදඹරන්වලින් හැදුවා යයි කියන පෙති පිළිම අදත් තැනින්තැන පූජාවස්‌තූන් ලෙසින් හමුවේ. ඒ බුද්ධ පරිනිර්වාණය පිළිබඳ පුරාවෘතවලින් දැක්‌වෙන කතාය.

අප අද බොහෝ භක්‌ත්‍යාදරයෙන් වන්දනා කරන මහනුවර දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ අපට පූජාවස්‌තුවක්‌ ලෙසින් ලැබුණේ දැඩි අවහිරතා මධ්‍යයේ බව අපි නොදනිමු. ඒ සඳහා දෙව්ලොව දෙවියන් මෙන්ම මනුෂ්‍ය ලෝකයේ ප්‍රභූන්ද අපට බොහෝ සේ උදව් විය.

දළදා වහන්සේ ළඟතබාගත් දඹදිව පඬුවස්‌ රජ මිත්‍යාදෘෂ්ඨික අදහස්‌ වැළඳ එම දළදාවට කළ හිරිහැර බොහෝය. වරක්‌ කිණිහිරියක්‌ මත තබා මිත්‍යාදෘෂ්ඨිකයන් ලවා දළදාවහන්සේට කුළුගෙඩිවලින් පහරදීමට අණකරද්දී, දළදාවහන්සේ එම කිණිහිරියේ එරී ගොස්‌ නිරුපද්‍රිතව වැඩසිටි බව බෞද්ධ සාහිත්‍ය පුරාවෘතවල දැක්‌වේ. එහිදී දළදාව ප්‍රාතිහාර්ය පෑ බව කියෑවේ.

එහිදී කිසිවෙකුටත් කිණිහිරෙන් මෑත්කොට ගත නොහැකි වූ දළදා වහන්සේ ඉන් මෑත්කොට වඩා හිඳුවාගත්තේ බුදුරජාණන් වහන්සේට ෙ-තවනාරාමය කරවා පූජා කළ අනේපිඬු මහ සිටුගේ සත්වැනි මුණුබුරා වූ සුභද්‍ර නමැති සිටාණන්ය. මේ සිටාණෝ බුදුරජුන්ගේ දහසක්‌ ගුණගායනා කරමින් වැඳ දොහොත්මුදුන් කළ අවස්‌ථාවේ රශ්මිකදම්භ විහිදුවමින් ඒ සම්‍යක්‌දෘෂ්ටික පිංවතාගේ දෝතට වැඩියහ.

එහිදී සුභද්‍ර සිටාණන් ජාතක වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කළ බව පැවසේ. මෙහිදී ගායනා කළ අලංකාර පද්‍ය බෞද්ධ ග්‍රන්ථවල දැක්‌වෙන අතර ඒවා අත්‍යලංකාර බව කිව යුතුය.

මුනි රාජ වරො - නර රාජ වරො
දිවි දෙව වරො - සුචි බ්‍රහ්මවරො
සක පාප හරො - පර පාප හරො
සක වුද්ධිකරො - පර වුද්ධි කරො

ලෝක ජනී ජනයාගේ පූජාවට පාත්‍රවූ අනන්ත කරුණා ගුණයෙන් යුත් මහා කාරුණික වූ සියලු ප්‍රඥවට මුල්වූ, ශාඛ්‍යවංශයට අයත්, මාරදිව්‍යයාට බියක්‌ වූ සියලු සත්ත්වයාට ප්‍රිය උපදන්නාවූ, ලෝක ශිවඞකර වූ පාපභයඞකරවූ සර්වඥ දිවාකරයාණන් වහන්ස. ඔබ වහන්සේගේ ආශ්චර්යය පෙන්වාදුන මැනව. ආදී වශයෙන් උන්වහන්සේගේ ගුණ ගායනාකරන විට ප්‍රාතිහාර්යය පාමින් ජනී ජනයා විශ්මපත් කර ඇත.

මෙහිදී මිත්‍යාදෘෂ්ටික අදහස්‌ දැරූ පඬුවස්‌ රජ බෞද්ධයකු වූ බව පුරාවෘතවල සඳහන්ය. නමුත් නිගණ්‌ඨයන් රජුගේ සිත් නැවත නැවතත් පාරමින් දළදාවහන්සේට අවමන් කිරීම සඳහා යොදාගන්නට උත්සාහ කළ බව පැවසේ. එහෙත් පසුව තෙරුවන්සරණ ගිය උපාසකයෙක්‌ වූ එම රජු තම රාජ්‍යයද දළදා වහන්සේට පූජා කළේ මහත් බැතිසිතිනි. පසුව පඬුවස්‌ රජතුමා සසුනේ පැවිදිව සිට කාලක්‍රියා කළ බව පැවසේ. ඉන්පසු "ගුහසීව" රජු දළදාව දන්තපුරයට වැඩමවා ගත් අතර පුද පූජා පවත්වමින් එයට ගෞරවාදරය පිරිනැමූ බව කියෑවේ.

එම අවධියේ උදේනි රජුගේ පුත්වූ දන්තකුමරු මහත් වූ පින් ඇත්තෙක්‌ වූ අතර කළිඟු පුරයට පැමිණ දළදා වහන්සේට බුහුමන් දක්‌වමින් එහි වසන්නට විය. දන්තකුමරු යහපත්ය පැහැපත්ය. ප්‍රියඋපදනා සුලුය. මහපින් ඇතියහ. "ගුහසීව" රජුට මේ තරුණයා හිතට ඇල්ලුවේය. දිනක්‌ රජු දන්තකුමරුට කතාකොට "පුත නුඹ රාජකීයයෙකි. වාසනා ගුණය පුරුදු පුහුණු කළ අයෙකි. හොඳම හොඳ බෞද්ධයෙකි. මම මගේ ඇසවන්· රූපකාය සම්පතින් අගපැමිණි· හේමමාලාවෝ තොපට සරණකර දෙමි. පුත, ඊට කැමැතිදැයි කියව· "ඉන්පසු දන්තකුමරු ගුහසීව රජු අමතා "මහරජ පියාණනි· ඉදින් ඔබවහන්සේගේ කැමැත්ත එයනම් මම ඊට කෙසේ පිටුපාන්නේ වෙම්ද? මම කැමැත්තෙමි."

මේ අයුරින් දෙපාර්ශ්වයේ කැමැත්තෙන් ඒ දෙදෙනා අතර විවාහය මහත් උත්සවාකාරයෙන් සිදුවිය. දළදාවහන්සේ රැක්‌මේ කාර්යභාරය ඉන්පසුව පවරන ලද්දේ මේ දන්ත කුමරුට හා හේමමාලාවන්ටය.

පසු කලෙක දන්තධාතූන්වහන්සේ පැහැරගනිමියි සිතූ "ක්‍ෂීරධාර රජ පුත්වරුන්" ගුහසීව රජු සමඟ යුද්ධ ප්‍රකාශ කළවිට මහසෙන් රජුගේ අවධියේ සිට තිබූ මිත්‍රත්වය ප්‍රයෝජනයට ගනිමින් දළදාවද රැගෙන ලක්‌දිවට යන ලෙස ගුහසීව රජු කම බෑණා වන දන්ත කුමරුට හා දියණිය හේමමාලාවන්ට ආදරයෙන් කියා සිටියහ.

"මම ච පිය සහායො සො මහාසෙන රාජා
ජින චරිත සරොප් ද්ව ද්ව සෙවාභි යුත්තො
සලිලම පිච පුට්‌ඨො ධාතුයා පත්ථයන්තො
විවිධ රතන ජානං පාභතං පෙසයි තථ"

ආදී වශයෙන් මහාසේන රජු පෙරදී තමා වෙතින් දන්තධාතූන් වහන්සේ ඉල්ලූ ආකාරයද සිහිපත් කර දුනි.

ඉන්පසු බ්‍රාහ්මණ වෙස්‌ගත් දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදාව සඟවාගෙන මහත් හිරිහැර කරදර මධ්‍යයේ ලක්‌දිව බලා ඒමට පිටත්වුනි. තමලිංගමු නුවරින් නැව් නැගි ඔවුන් දළදා වහන්සේගේ ඍද්ධිබලයෙන් කිසිදු ආපදාවක්‌ නොමැතිව ලංකාපටුනට සැපත් වූහ.

මොවුන් ලක්‌දිවට ගොඩබැස්‌සේ මහසෙන් රජුගේ පුත්වන කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවසය. මෙම රජුගේ රාජ්‍ය ප්‍රාප්තියෙන් නවවන වර්ෂය වූ ක්‍රි.ව. 312 දී. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදාව රැගෙන ලක්‌දිවට ආ වග ඉතිහාසයේ සඳහන් වේ. එදා දෙවනපෑතිස්‌ රජු විසින් බුදුසසුනට පූජා කළ මහමෙව්නාවේ පිහිටි ධම්මචක්‌ක ගෘහයේ දළදාව තැන්පත්කර රජු ඇතුළු පිරිස්‌ ඊට පුද සත්කාර කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්යෑ.

අනුරාධපුරයට වැඩම කළ දළදා වහන්සේ එම ශුද්ධ භූමියෙහි වඩා හිඳුවා. මහ පූජාසත්කාර කිරීමට රජු අණකළේය. ඒ සඳහා දෙවියන්ගෙන්ද සහාය ලැබුණ බව බෞද්ධ පොතපතේ සඳහන්ය. කෙසේ වෙතත් බුදුන්වහන්සේ ජීවමානව සිටියදී දෙසා වදාළ ලෙසින් ප්‍රධාන පූජාමය වස්‌තුවක්‌ අපට ලැබීම අපේ බෞද්ධ ජනයාගේ භාග්‍යයක්‌ කොට සැලකිය යුතුය.

එදා එම අවස්‌ථාවේ ශ්‍රී දන්තධාතූන් වහන්සේ කිත්සිරිමෙවන් රජුට දැකගැනීම පිණිස මහා පෙළහර දැක්‌වූ අතර රජු පැහැද පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිනාගොස්‌ දන්තධාතූන්වහන්සේට පුදසත්කාරාදිය පැවැත්වීම පිණිස නුවරුන් අණවන ලදී. ඒ අතර රජතුමා ශ්‍රී දන්තධාතූන්වහන්සේ හිස මුදුනේ තබාගෙන සිංහාසනයෙන්ද පූජාකර මහා ශබ්දපූජා පවත්වා දළදාවහන්සේ අනුරාධපුර නගරයේදී පූජ්‍යත්වයට පත්කරන ලද්දේ දළදා පූජාවන්ටද අණ කරමින්ය. එදා නුවරවැස්‌සෝ මේ මහා ප්‍රාතිහාර්යය දැකගැන්ම සඳහා දහස්‌ සංඛ්‍යාතව පෙළසැදී සිටගත්හ.

නැවතද සොළීන් ලක්‌දිව ආක්‍රමණය කර දළදාවත්, පාත්‍රාධාතුවත්, මිණිබෙරයත් රැගෙන සොළීරටට පලාගියහ. මෙයින් කෝපයට පත් සිළු සිරිසඟබෝ රජතුමා මන්නාරම් තොටින් නැව්නැගීගොස්‌ සොළීපුර අවරෝධනය කර දළදාවත්, පාත්‍රාධාතුවත්, මිණිබෙරයත් ආපසු ලංකාද්වීපයට ගෙන එන ලදී. ඉන්පසු රාජපරම්පරා ලෙසින් ගජබා රජතුමා, මහළු විෙ-බා රජතුමා මහළු පැරකුම්බා මහජතුමා දළදා පුද පූජා පවත්වමින් ඊට නිසි ගෞරව දක්‌වමින් දළදා වහන්සේගේ කටයුතු පිණිස නිලධරයන් පවා පත්කරමින් කටයුතු කරන ලදී.

මේ කාලය අතරතුර පණ්‌ඩිත විජයබාහු නිශ්ශංක කල්‍යාණවතී, ධර්මාශෝක, ඇණියංග, ලීලාවතී, මංගල යන රජුන් හා රැජනියන් දළදාවහන්සේට මහා පුදසත්කාර කළ රජුන් හා රැජනියන් අතර විය.

එසේම දඹදෙණි පුර රජකළ විෙ-බා පණ්‌ඩිත පැරකුම්බා බුවනෙකබා, බෝසත් විෙ-බා, වත්හිමි යන රජවරුන් දළදා වහන්සේට ගෞරව පූජා සත්කාර කළ අතර දෙවන පැරකුම්බා හෙවත් පණ්‌ඩිත පැරකුම්බා රජු දඹදෙණිගල මස්‌ථකයේත්, විෙ-සුන්දරාරාම විහාර භූමියේත් දළදා මන්දිර කරවා තුන්වේලේ පුදසත්කාර කරන ලදී.

දඹදෙණි රජදවස මාළිගාගල මුදුනේ සිට ලෝකඩ තම්මැට්‌ටම ගසා ඇසුණ දුර ප්‍රමාණයේ ගොඩ මඩ භූමි දළදා වහන්සේට පූජාකරන ලද අතර හීල හා දිවා දානය නියමිත පරිදි රාජකාරි ලෙස දළදා වහන්සේට පූජාකිරීමට නිලධාරීන් අණවන ලදී. මෙම කාලයේදී දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව සිදු කෙරෙන ශ්‍රීවර්ධන පූජාවද පවත්වන්නට කටයුතු යොදන ලද්දේ දෙවන පැරකුම්බා රජ දවසය. එතුමන්ගේ අවධියේම "රිදී හතළිස්‌ දාහකින්" කරඬුවක්‌ සාදා දළදා වහන්සේට පූජාකරන ලද්දේ රන්රිදී මුතු මැණික්‌ ඔබ්බවා සකස්‌ කළ මාලාදාමයකින් කරඬුව වටකොට සරසාය. එදින මහ පුද පූජා දඹදෙණි පුරවරයේදී සිදුකළ බව පුරාවෘතයන්හි සඳහන්ය.

ඉන්පසු කෝට්‌ටේ, සීතාවක, ආදී රාජධානිවල පුදපූජා ලබා වර්තමානයේ වැඩවසන මහනුවර දළදා මාළිගාවට දන්තධාතූන්වහන්සේ වැඩමකළේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසය. එම රජතුමා පත්තිරිප්පුවක්‌ තනවමින් දළදා වහන්සේට හරසර දැක්‌වූ අතර වාර්ෂිකව දළදා පෙරහැර ඇසළ මාසයේ සිදු කිරීමටද මූලිකව කටයුතු කළේය. බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ බඳු ශ්‍රී දන්තධාතූන්වහන්සේ අපේ රටට ලැබුණේ ඔය අයුරින්ය. මේ කාලසීමා තුළ බොහෝ ව්‍යසන හා කැරලි කෝලාහලද ඇතිවිය. ඒ විස්‌තර එකක්‌ නෑර මෙහි සඳහන් කළ හොත් ලිපිය තවත් දිග්ගැස්‌සේ හේමමාලා පුණ්‍යවන්තියගේ කෙස්‌ තුළ සඟවාගෙන බුද්ධාලම්භන ප්‍රීතියෙන් වැඩම කළ ඒ මහා පුරුෂෝත්තමයාණන්ගේ වාම දළදාව අදත් නිරුපද්‍රිතව කන්ද උඩරට ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින බව අපි දනිමු. ඒ වැඩසිටින අනුහසින් අපට මහවිපත් සිදුනොවන බව කෝටිගණන් ජනතාවගේ විශ්වාසයයි. එම විශ්වාසය තවත් බොහෝකල් බෞද්ධ ජනයාගේ හදවත් තුළ නොනැසී පවතිනු ඇත.



උපුටා ගැනීම - සිංහලයා
ධර්මරත්න තෙන්නකෝන්