29 February 2012

මහනුවර ජාතික ‍කෞතුකාගාරය...

මහනුවර ජාතික ‍කෞතුකාගාරය ස්ථාපිත කොට ඇති ගොඩනැගිල්ල “ පල්ලෙ වාහල” නමින් හඳුන්වනු ලැබේ. ක්‍රි .ව. 17 - 19 වන සියවස්වලට අයත් මෙම ගොඩනැගිල්ල ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ පරිවාර බිසෝවරුන් වාසය කළ අන්තඃපුර මාළිගාව ලෙසද පිළිගැනේ. මෙම ගොඩනැගිල්ල මහනුවර යුගයේ වාස්තු විද්‍යා නිර්මාණ පිළිබිඹු කරන ඉතා වැදගත් එක් නිදර්ශනයක් ලෙසට ද හැඳින්විය හැකිය. 1832 දී ආරම්භ වු මහනුවර කලා සංගමය විසින් සංස්කෘතික හා ඓතිහාසික වටිනාකමකින් යුත්, ඔවුන් එක්රැස් කර ගත් ‍කෞතුක භාණ්ඩ තැන්පත් කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල යොදා ගෙන තිබුන අතර, එම භාණ්ඩ එකතුව යොදා ගනිමින් 1942 දි ‍කෞතුකාගාරයක් වශයෙන් මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි.
මෙම ‍කෞතුකාගාරය සතුව මහනුවර යුගයේ (ක්‍රි. ව. 17 – 19 සියවස්වල) විවිධ සංස්කෘතික හා ඓතිහාසික පැතිකඩවල් නියෝජනය කෙරෙන පන්දහසකින් (5000) පමණ සමන්විත ‍‍කෞතුක භාණ්ඩ එකතුවක් ප්‍රදර්ශනය කෙරේ.

24 February 2012

මහනුවර යුගයේ සිතුවම් කලාව...

මහනුවර යුගයේ චිත්‍ර උඩරට චිත්‍ර නමින් ද හැඳින්වේ. අතීතයේ දී උඩුනුවර යටිනුවර දුම්බර හේවාහැට හාරිස්පත්තුව යන ප්‍රදේශවල ව්‍යාප්තව පැවති උඩරට රාජධානිය වත්මන් මහනුවර කේන්ද්‍ර කර ගත්තකි. 1වන විමලධර්මසූරිය රජු ගෙන් ඇරඹි යුගය ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගෙන් නිම වෙයි .මහනුවරචිත්‍ර කලාව බුදු සමය සමඟ අත්වැල් බැඳගෙන පෝෂණය වූවකි.අසරණ සරණ සරණංකර හිමියන්ගේ දායකත්වය නිසා පිරිහෙමින් පැවති මහනුවර කලාවට නව පණ ලැබුණි.කීර්ති ශ්‍රි රාජසිංහ රාජ සමය්දී උපසම්පදා කර්මය යළි පිහිටුවීමෙන් පසු විහාර කර්මාන්තය ‍මෙන්ම එහි සිතුවම් කලාව ද වර්ධනය විය.කලාවේ උන්නතිය සදහා 1වන විමලධර්මසූරිය(ක්‍රි.ව.1592-1604)සෙනරත් රජ(ක්‍රි.ව.1604-1635) 2වන රාජසිංහ (ක්‍රි.ව.1634-1684)2වන විමලධර්මසූරිය (ක්‍රි.ව.1686-1705)ශ්‍රි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1705-1738) ශ්‍රි විජය රාජසිංහ (ක්‍රි.ව.1738-1746)කීර්ති ශ්‍රි රාජසිංහ (ක්‍රි.ව.1746-1799)යන රජවරුන්ගේ දායකත්වය නොමඳව ලැබුණි.

...විහාර චිත්‍ර...

මහනුවර චිත්‍ර දක්නට ලැබෙන ස්ථාන අතර ලෙන් විහාර හා ටැම්පිට විහාරවලට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ.ලෙන්හි අඳිනු ලබන චිත්‍ර ලෙන් විහාර චිත්‍ර ලෙස හැඳින්වේ.මේවා භික්ෂූන්ගේ වාසය සඳහා සකස් කළ ස්වභාවික ගල් ලෙන්ය.මහනුවර යුගයේ ප්‍රකට ලෙන් විහාර කිහිපයක් තිබේ රිදීවිහාරය,දෙගල්දොරුව,දනගිරිගල,දඹුල්ල, අලුවිහාරය ඒ අතර ප්‍රකට ය.ටැම්පිට විහාර අඩි හයක් පමණ උසට ගල් කණු සිටුවා ඒ මත මෙ‍ම විහාර ගොඩනංවා තිබේ.පොළව හාරා සිටවූ ගල් කණු මත විහාර ඉදිකරනු ලැබුවේ වේයන්ගෙන් චිත්‍ර ආරක්ෂා කර ගැනීම ට යැයි ඇතමෙක් කියති.මැදවලවිහාරය,දන්තුරේ විහාරය ප්‍රකට ටැම්පිට විහාරයන්ය. සූරියගොඩ, දෙවනගල, හිඟුල, දැඹව,විලයාය ප්‍රදේශ වල ද ටැම්පිට විහාර දක්නට ලැබේ.

...සැරසිලි මෝස්තර...

මහනුවර චිත්‍ර කලාවේ වැදගත් ලක්ෂණයකි.නුවර යුගයේ දී තිරිඟිතලය මූලික කර ගෙන මෝස්තර යෙදීම දක්නට ලැබේ.මධ්‍යකාලීන සිංහල කලා කෘතියෙහි දැක්වෙන පරිදි මහනුවර යුගයේ සැරසිලි මෝස්තර සතර වර්ගයකි.දිව්‍ය-සත්ව-වෘක්ෂ හා නිර්ජීව යනු‍වෙනි.දිව්‍ය යන්නට හිරැ,සඳු අයත්ය. හිරු සදු නොනැසී පැවැතීමේ සංකේතයයි. හිරුගෙන් ප්‍රතාපවත් බව ද සඳුගෙන් සෞම්‍ය බව ද විදහා දැක්විණ.මවාගත් සතුන් වන භේරුණ්ඩ-මකර-ගජසිංහ-ඇත්කඳළිහිණි-කිඳුරු-සරපෙන්දිරූප ද සිංහ-නාග -හංස-සැවුල්-මත්ස්‍ය-ඇත්-ගව-අශ්ව-ඇත් රූප සත්ව යන්නටඅයත්ය.සීන-කඩුපුල්-නාරිලතා-පරසතු-පිච්ච-වැටකේ-ඇසළ-සපු-අනනාසි-ලියවැල-පළාපෙති-මහනෙල්මල-බිනර මල යන මෝස්තර සටහන් උද්භිත ගණයෙහිලා ගැනේ.අරිම්බුව-කුන්දිරික්කම්-පනාව-තනි පොට ලණුව-දෙපොට ලණුව-සුළිය-සුළි දෙක-හවඩිය ආදී ජ්‍යාමිතික මෝස්තර සටහන් නිර්ජීව යනුවෙන් දක්වා ඇත.

...ශිල්පීය උපක්‍රම...

මෙකල ශිල්පීන් යොදාගත් ශිල්පීය ධර්ම විශේෂ වූවකි.බිත්තිවල චිත්‍ර ඇඳීමට යෝග්‍ය පරිදි බදාම පිළියෙළ කිරීමෙන් චිත්‍රවල කල් පැවැත්ම අපේක්ෂා කරන ලදී. බදාමය හුණු හා කහට පොතු දියර සමඟ මිශ්‍ර කිරීම එක් උපක්‍රමයකි.පොල් කෙදි,අරලු කහට ඇසතු බෝ පොතු සිහින්ව ලියා කොටා ගත් මිශ්‍රණයට අරලු හා ජලය එක්කර බදාම තැනීමට අවශ්‍ය ජලය සපයා ගැනීම ද සිදු කරන ලදී.කැටයම් සඳහා බදාම සකස් කිරීම වෙනත් ස්වරූපයකින් දක්නට ලැබුණි.

වර්ණ සකස් කිරීමේදී ද ස්වභාවික වර්ණ භාවිත කරන ලදී.සුදුපැහැය සකසා ගනු ලැබුවේ මකුළු නමින් හැඳින්වෙන පොළවෙන් ලබාගත් පස් වි‍ශේෂයකිනි.පොල්කටු අඟුරු සියුම්ව කුඩුකර හලා ගැනී‍මෙන් කලු පැහැය ලබාගැණින.ගුරුගල් සියුම්ව කුඩුකර හලා ගැනීමෙන් රතු වර්ණය ලැබුණි. මේ හැරුණුවිට සාදිලිංගම් රතු පැහැය ඉන්දියාවෙන් ‍ලබාගෙන තිබේ.ගොකටු ගසේ කිරිවලින් කහ පැහැයද නිල් ඇවරිය කොළ යුෂ උණුකිරීමෙන් නිල් පැහැයත් අගුණ රණවරා, මිදෙල්ල කොළ යුෂ යොදා ගැනීමෙන්කොළ පැහැයත් ලබා ගන්නා ලදී.දිවුල් ලාටු මිශ්‍ර කිරීමෙන්වර්ණ ස්ථාවරත්වය අපේක්ෂා කළහ.ටැම් හා ගොඩනැගිලි චිත්‍ර සඳහා දිය සායම් භාවිත කළ අතර වර්ණ ප්‍රබේද ලබා ගැනීමට සුදු-කළු වර්ණ භාවිත කළහ.

තෙතමනයෙන් චිත්‍ර ආරක්ෂා කිරීමට යොදාගත් සාර්ථක උපක්‍රමය වූයේ චිත්‍ර මත වලිත්ති ආලේප කිරීමයි.චිත්‍ර අලංකාර කිරීමට ද මෙය ප්‍රයෝජනවත් විය.වලිත්ති සකස් කිරීමට අනුගමනය කළ ක්‍රම කිහිපයකි.පිරිසිඳු දුම්මල කුඩු දොරණ තෙල් සමඟ මිශ්‍ර කර නිවෙන්නට හැර වාර කිහිපයක් පෙරා ගැනීම,ගොකටු සායම් වලිත්තියක් ලෙස භාවිත කිරීම,කැප්පෙට්ටිය කොළ වලිත්තියක් ලෙස සිහින්ව ආලේප කිරීම ද සිදු කරන ලදී.

චිත්‍ර ඇඳීමේදී පින්සල් සඳහා විවිධ මාධ්‍ය භාවිත විය.සත්ව ලෝම තෘණ වර්ග එහීදී මූලික විය.මෘදු බවින් යුතු ලේන ලොම් හා බළල් ලොම් යොදාගනීම සියුම් රේඛා කර්මයට හේතු විය.වැටකෙයියා මුල්, ‍තෙලි තණ හා තුත්තිරි කෙඳි ද පින්සල් සඳහා යොදා ගනු ලැබිණ.

...චිත්‍ර ශිල්පීන්...

නුවර යුගයේ චිත්‍ර ශිල්පීහු කොට්ටල්බද්ද කාර්මික ‍ශ්‍රේ ණියට අයත් වූවෝ වෙති.නුවර යුගයේ සිතුවම් කලාව ගොඩනැංවීමට මොවුහු සෘජුවම දායක වී තිබේ.දෙවරගම්පල සිල්වත්තැන ,දේවේන්ද්‍ර මුලවාරියා මහනුවර සිත්තර පරම්පරාවට අයත්ය.එල්.ටී.පී.මංජු ශ්‍රී ගේ අදහසට අනුව දේවේන්ද්‍ර මුලවාරියා දෙවිනුවර සිත්තර පරම්පරාවේ කෙනෙකි.නීලගම පටබැන්දා,කොස්වත්තේ සිත්තර න‍යිදේ හා දෙවරගම්පල සිල්වත් තැන දෙගල්දොරු චිත්‍ර ශිල්පීන්ය.දෙවරගම්පල සිල්වත් තැන කීර්ති ශ්‍රී රාජසිංහ රජුට සේවය කළේය.ඹහු නායක්කර් වංශික ශිල්පීන්ද මැනවින් ඇසුරු කළ අයෙකි.නයිදේ පරම්පරාවට අයත් කොළඹ නයිදේ දෙවන රාජ‍සිංහ රජුට සේවය කළේය.මද්දුම නයිදේ ,දෙවන විමලධර්මසුරිය රාජ සමයේ විසූවෙකි.ගල්ලෙන් නයිදේ නරේන්ද්‍රසිංහ රජුට සේවය කළේය.උල්ලඳුපිටියේ සිත්තරා,ගන්නොරුවේ නවරත්න දණ්ඩයා,මංගලගම නීලවල මුහන්දිරම්,සේරුගොල්ලේ සිත්තර නයිදේ,පල්ලේකුඹුර උන්නාන්සේ ද මෙකල විසූ චිත්‍ර ශිල්පීන්ය.

මෙකල දකුණු ප්‍රදේශයේ විසූ භිමප්පු ගුරුන්නාන්සේ වැලිතර පරම්පරාවේ අයෙකි. සෝලියස් මෙන්දිස් ද වැලිතර පරම්පරාවේ සිත්තරෙකු‍ගේ ගෝලයෙකි. කඩොල්ගල්ලේ සිත්තර පරම්පරාව විසින් කතලුවේ පූර්වාරාම විහාර බිතුසිතුවම් අඳින ලදී.මෙකල විසූ සෙසු ශිල්පීන් නම් බැද්දෙවත්තේ දිනෝ සිත්තරා ,ගරා ඬුවේ මහ සිත්තරා,ගාලුපියද්දේ බබුන් ,කිරින්දේ ශීලානන්ද හිමි ,බිබිලේ සිත්තර නයිදේ,චන්ද්‍රසේකර දේවපතිදේවනාරායන බුවනෙකබාහු සිත්තර නයිදේ යන චිත්‍ර ශිල්පීන් ය.

...මහනුවර යුගයේ චිත්‍රවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ...

මහනුවර යුගයේ චිත්‍ර ශිල්පියා තම නිර්මාණ සඳහා ජාතක කතා පදනම් කරගෙන තිබේ.දිව්‍යලෝක දර්ශන අපාය දර්ශන නිරූපණය කිරීමෙන් මිනිසා පිනට නැඹුරුකරවීමත් පවට බිය වැද්දීමත් අපේක්ෂා කරන ලදී.මාර පරාජය,සූවිසි විවරණ ,සත් සතිය,පසේ බුදුවරු,අටමස්ථාන ආදිය නිරූපණයෙන් පෙනෙන්නේ නුවර චිත්‍රවල පැවති ‍බෞද්ධ ආභාසයයි.

මෝස්තරකරණයේදී සංකේත භාවිතයක් දක්නට ලැබේ.නෙළුම් මල නිවනේ හා පවිත්‍රත්වයේ සංකේතයයි.කඩුපුල් මල කල්ප වෘක්ෂ මෝස්තර මඟින් දෙව්ලොව නිරූපණය වෙයි.සූර්ය-චන්ද්‍ර සටහන් සථිරත්වයේ සංකේත වෙයි. නාගරුව ආරක්ෂාවේ සංකේතය වශයෙන් ද මත්ස්‍ය හා වෘක්ෂ සටහන් මංගල ලක්ෂණ වශයෙන් ද තවදුරටත්යොදාගනු ලැබීය.ප්‍රෙහේළිකා චිත්‍ර මඟින් විස්මය දැනවෙයි.හාස්‍ය රසයත් භයානක රසයත් ලබාදෙන චිත්‍ර මහනුවර සම්ප්‍රදායෙහි හිඟ නොවේ.විනෝද ජවනිකා මෙන්ම ජ්‍යොතිෂය ද අන්තර්ගත ජන ජීවිතය‍ට වඩාත් සමීප චිත්‍ර කලාවකි.

පුස්කොළ පොතක තීරු මෙන් වමේ සිට දකුණට දකුණට කතා ශරීරය ගලායන ආකාරයෙන් චිත්‍ර නිමවා ඇත.පාදමේ රේඛාව මත පිහිටුවා හැඩ ගැලපීම සිදු කරයි.බාහිර රේඛා යොදා ගනු ලැබිණ.කලුවන් රාමුවක පැතලි වර්ණාලේප භාවිත කර තිබේ.ගැඹුරු ප්‍රකාශන ඉරියව් මෙම චිත්‍රවල දක්නට නැත. මෙම චිත්‍ර තාත්විකත්වයෙන් බැහැර වූයේ සිත් බඳනා පරිදි කතාවක් කීම අරමුණු කර ගත් නිසා විය යුතුය.පරිමාණය ගැන නොසලකා තිබේ.වර්ණ භාවිතයේදී කහ රතු දුඹුරු පැහැයන් බහුලව යොදා ගන්නා ලදී. සිද්ධි එකිනෙක වෙන් කිරීම සඳහා රූප භාවිතා කරන ලදී.හිස් ඉඩ වැසීම සඳහා චිත්‍ර මෝස්තර යළි යළිත් යොදා ගනු ලැබිණ.නෙළුම් මල් කඩුපුල් මල් සීන මල් වැටකේ මල් කොළ ඉති ආදිය ඒ සඳහා යොදා ගන්නා ලදී.

සමකාලීන වෙනත් රටවල චිත්‍රකලාවන්හි ආභාසයද මහනුවර යුගයේ චිත්‍රවල දක්නට ලැබේ.සියම් බුදුපිළිමවල තිබූ සිරස්පත කේතුමාලාව ලංකාවේ බුදුපිළිමවල දක්නට ලැබේ.නාරිලතා ලියපත්‍ර ආදී මෝස්තර රටාවන්හි සියම් බලපෑම දක්නට ඇත.තීරුවකින් කතා නිරූපණ‍‍ ශෛලිය, චිත්‍ර පාදමෙහි සුදු වෙනුවට කළු තීරුවකින් වෙන් කිරීම, බුරු‍ම චිත්‍රවල දක්නට ලැබේ. මහනුවර යුගයේ චිත්‍රවල ඇති ඉන්දීය බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වන කොටගම වාචිස්සර හිමිගේ අදහස නම් නායක්කර් වංශිකයන් සමඟ පැවැත්වූ සමීප සම්බන්ධතා හේතුවෙන් එකී ශිල්පීය ආරයන්ගෙන් මහනුවර කලාව පෝෂණය වූ බවයි. මහනුවර යුගයේ චිත්‍ර ලක්දිව චිත්‍ර කලාවේ වැදගත් සංදිස්ථානයකි.දුෂ්කරතා මධ්‍යයේ කළ කාර්යයක් බැවින් මහනුවර යුගයේ චිත්‍ර අගය කළ හැකිය.

23 February 2012

දෙගල්දොරුව...

සකස්කළ ගල් ලෙනක් තුළ නිර්මිත බැවින් දෙගල්දොරුව නම්‍ වු මහනුවර අමුණුගම නම් ග්‍රාමයේ පිහිටි දෙගල්දොරුව විහාරය මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සැළකීම අතිශයෝක්තියක් නොවේ.

කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) රජු ගල්මඬුව විහාරය කරවමින් සිටියදී එතුමන්ට අනුහස් සහිත වු මෙම ස්ථානස පිළිබඳව සැල වී ගල්මඬුව විහාර කර්මය අතර මඟ නතර කර මෙය ඇරඹු බව පැවසේ.අනතුරුව මෙහි වැඩ ඵතුමන්ගේ සොයුරු රාජාධි රාජසිංහ රජු ක්‍රි:ව 1786 දී නිමකර මොරතොට ධම්මබුද්ධ හිමි ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරූ බව විහාර සන්නසේ දැක්වේ.

දිගින් දොළොස් රියනක් සහ අට රියනක් පළලින් යුත් ලෙනක් කැණ දහඅට රියනක් දිගින් සැතපෙන බුදු පිළිමයක් පිහිටි ගලින්ම මතුකර සායම් කරමින් නිර්මිත මෙම විහාරයේ සිතුවම් කටයුතු උපසම්පදා නොලත් පටබැන්දෙව්රගම්පළ සිල්වත්තැන ප්‍රමුඛ නීලගම දා,කොස්වත්තේ සිත්තර නයිදේ සහ තවත් අප්‍රකට සිත්තරකු ලවා කරවා ඇත්තේ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ බවද පැවසේ.මෙහි ප්‍රධාන සිත්තරා වු දෙව්රගම්පළ සිල්වත්තැන සිතුවම් කරමින් සිටින විට තම ගෝලයා යැයි සිතා රජු අතට දුන් බුලත්හපයක් පවා රජු අතට ගෙන විසිකර ඇති බවද පැවසේ.මෙයින්ද පෙනෙන්නේ රජු සිතුවම් කෙරෙහි දෑක්වු උනන්දුවයි.ධම්ම බුද්ධ හිමිට රාජාධි රාජසිංහ රජු මෙය පූජා කර ඇත්තේ ගුරු පඬුරක් ලෙසිනැයිද පැවසේ.
මෙහි දහඅට රියන් පිළිමය නෙළීමට වසර 20ක් පමණ ගතව ඇත.වෙහෙරෙහි ඇතුළු දො‍රෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල වෙහෙර නැරඹූ බවත් පැවසෙන අතර දොරටුව ඉහළින් මැණික් ගල් එබ්බවු බවට සළකුණු ද ඇත.මෙහි ගර්භ ගෟහයට ඇතුළුවීමට නෙළා ඇති කේතු ආකාර සඳකඬ පහනේ ප්‍රධාන මෝස්තරය තිරිඟි තලයයි.මෙයද පිහිටි ගලින්ම නෙළා ඇති අතර නුවර යුගයේ දශ්‍ර්‍නීයතම සඳකඬ පහනකි.අන්තරාලයේ විශාල ගල් කුළුණු 12ක් මතින් පියස්ස දරා සිටින අතර මේවාද බිතුසිතුවමින් අලංකෘතය.විහාරය ඇතුළත දුර්ලභ ගණයේ දැවමය මකර තොරණකි.මේ සියල්ල අභිබවා දෙගල්දොරුව අමරණීයව ඇත්තේ එහි ගර්භ ගෟහයට ඇතුළු වන දොරටුව දෙපස ඇති වෙස්සන්තර හා සුතසෝම ජාතක කමාරපරාජය සිතුවමත් මහාසීලව,සත්තුභත්ත යන ජාතක කතාත් ප්‍රමුඛ මහනුවර යුගයේ සිතුවම් රැස නිසාය.මෙහි සිතුවම් අතරින් වෙස්සන්තර,සුතසෝම ජාතක කතා නිරූපණයේදී කලා කරුවාගේ ආවේශය සහ නිර්මාණශීලී ප්‍රකාශනය විශිෂ්ඨත්වයෙන් අගතැන්පත් වේ.මාරපරාජයේ තුවක්කුව අතින් ගත් මාරයින් කාළීන අධිරාජ්‍යවාදී බලපෑමට සියුම් විරෝධයක් දැක්වීමන් මෙන්ම එහි බලපෑමකි.

කලාකරුවන් අමන්දානන්දයට පත් කළ,විවේචකයන්ගේ නොමඳ පැසසුමට ලක් වූ වෙස්සන්තර සහ සුතසෝම ජාතක තාවන්ගේ විශේෂී නිරූපණ කිහිපයක් විමසා බැලීම යෙහෙකැයි සිතේ.මෙහි වෙසතුරු ජාතකයේ අලි ඇතුන් දන්දීම,භාණ්ඩ දන්දීම,ළිඳ ළඟ කළහය,ජූජක බමුණා සැඟවී සිටීම සහ සුතසෝම ජාතකයේ රුක්දෙවියාට බිළි දීමට බැඳ දමා ඇති කුමරුවන්,සිව්රඟසෙන් පැරදවීම යනාදිය මේ අතරින් සුවිශේෂී වේ.අලි ඇතුන් දන්දීම යන අවස්ථාවේ රූප සම්පිණ්ඩණය සහ සමබරතාවය ඉතා උසස් බවක් ගනී.මාරපරාජයේ හිස් පහක් සහ ඔටුණු පහක් සහිත මාරයා ද සෙසු මාරයින්ද ජුගුප්සාජනක බව සහ භයානක බව හොඳින් නිරූපිත ‍‍‍ශ්‍රේෂ්ඨ සිතුවමකි. සෙසු සිතුවම් මෝස්තර ද මන පිනවයි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ජීවිතයට සම්බන්ධ අවස්ථා ජාතක කතා තුළින් නිරූපිත බවට අනුමාන කෙරේ.තද වර්‍ණ මිටි රූ සහිත මෙම සිතුවම් මහනුවර යුග සිතුවම් කලාවේ විශ්මයකි.

01 February 2012

ගැටඹේ පුරාණ තොටුපල

ගැටඹේ පුරාණ තොටුපල සිට පහළ දොඩම්වල සහ හල්ලොලුව අතර සංගිලි පාලම ප්‍රදේශය මහවැලි ගංගාවේ ඉහළ ජෛව විවිධත්වයෙන් හෙබි ප්‍රදේශයක්‌ ලෙස හැඳින්විය හැක. ගංගාව ආශ්‍රිතව ඇති ජලජ පරිසර පද්ධති ගංගාධාර වනාන්තර දූපත් ජෛව විවිධත්වය ඉහළ දැමීමට මහෝපකාරී වන අතරම ඉන් පරිසරයට ලබාදෙන චමත්කාර ජනක සුන්දරත්වය වචනයෙන් පමණක්‌ ප්‍රකාශ කිරීම උගහටය. වරාතැන්න සීමා මාලකය මෙන්ම අවුරුදු 200 පමණ පැරණි ගල් ලිඳ දැනටමත් මේ ආශ්‍රිතව පවතින ඉපැරුණි සාක්‌ෂි ලෙස සැලකිය හැක.

සෞන්දර්යාත්මක අගනා වටපිටාවක්‌ මෙම කිලෝමීටර් දෙකක්‌ පමණ වන භූමි භාගය තුළ පවතී. තවද මහවැලි ගංගාවේ පටුම හා පළල්ම ප්‍රදේශය එක්‌ කිලෝ මීටරයක්‌ තුළ දක්‌නට ලැබෙන ප්‍රදේශය ද මෙයම වේ. මහවැලි ගංගාවේ වම් ඉවුරෙන් ගන්නොරුව වනාන්තරයත් දකුණු ඉවුරෙන් බහිරවකන්ද කඳු වලල්ලෙන් වටව පවතී. හන්තාන හා හුන්නස්‌ගිරිය කඳුවැටි වලින් සමන්විත අවට පරිසරය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නොමද පැසසුමට ලක්‌ව ඇත.

වම් ඉවුරේ ඇති ගංගාධාර වනාන්තර සහ ගන්නොරුව වනාන්තරය නිසා සැමවිටම සත්වයෝ තම ජල අවශ්යධතාව සඳහා මහවැලි ගංගාව වෙත පැමිණෙති. අවාසනාවකට ඉදිවී ඇති මහාමාර්ග පද්ධති හරහා පැමිණිමේදී දුර්ලභ සත්ව විශේෂ රථවාහන අනතුරුවලට භාජන වී මියයැම සිදුවේ. ඉතා දුර්ලභ සත්ව කාණ්‌ඩයක්‌ ලෙස සැලකෙන කොල දිවියන් පවා මෙලෙස අනතුරු වලට ලක්‌ව මිය යයි. මෙම සතාගේ නිදර්ශක දැනටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව පවතී. මෙම සත්වයා ශ්‍රී ලංකාවෙන් වාර්තාවෙන බිළාල පවුලේ කුඩාම විශේෂය වන අතර ලොවෙන් හමුවෙන කුඩාම විශේෂය ද බව පොත්පත් වල සඳහන් වේ. 2007 ශ්රීව ලංකා රතු දත්ත පොතට අනුව අන්තරායක තත්වයට ලක්‌ වූ විශේෂයක්‌ ලෙසට ද හඳුන්වා දී ඇත. මේ වන විටත් ගංගාව ආශ්‍රිතව සපුෂ්ප ශාක විශේෂ සහ ආවේණික ශාක විශේෂ හඳුනාගෙන ඇත. පේරාදෙණිය විශ්වවිද්යාවලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය දීප්ති යකන්දාවලට අනුව ගංගාව තුළ ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ Cryptop Porine (අති උඩයන්) ඝනයේ ශාක විශේෂ 2 ක්‌ (මෙම විශේෂ ශ්රීස ලංකාවට ආවේණික වන අතරම මෙම ඝනය දැඩි ලෙස අන්තරායක තත්වයට ලක්‌ වූවකි. C.undulata දැඩි ලෙස අන්තරායක තත්වයට ලක්‌ වී ඇති අතර becketii අන්තරායක තත්වයට ලක්‌ වූ විශේෂයකි. ගංගාවේ ඉවුරු ආශ්රිඇතව එම විශේෂ හමුවේ. Podos Tmaceae ඝනයේ ශාක විශේෂ 6 ක්‌ ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව හමුවේ ඉන් විශේෂ දෙකක්‌ ආවේණිකය. සපුෂ්ප ශාක විsශේෂ අතර වල්දෙල් හා ඇටඹ මෙරටට ආවේණිකය..

සත්ව විශේෂ සැලකීමේදී ක්‌ෂිරපායි විශේෂ 23 ක්‌ දක්‌නට ලැබෙන අතර ඉන් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. මේ අතර තර්ජනයට ලක්‌වූ විශේෂ ද සිටී. දිය බල්ලා, අදුන් දිවියා, ශ්‍රී ලංකා රිලවා, හම්බාවා මේ අතර සුවිශේෂය. දිය බල්ලන් ගංගාව තුළ දූපත්වල කූඩු තනාගනී. පක්‌ෂි විශේෂ 77 ක්‌ හමුවන අතර මින් විශේෂ 5 ශ්රීර ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. ශ්‍රී ලංකා රන් නළල් කොට්‌ටෝරුවා, ගිරා මලිත්තා, අලු කෑදැත්තා, මුදුන් බොර දෙමලිච්චා ප්රකමුඛව හමුවේ. උරග විශේෂ ලෙස මුදු කරවලා, සර්ප හීරලුවා, දිය නයා, දිය බරියා ආදි විශේෂ හමුවන අතර ඉන් විශේෂ 17 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. හමුවන මුළු විශේෂ සංඛ්‍යාව 44කි. උභය ජීවී විශේෂ 17 හමුවන අතර ඉන් විශේෂ 12 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වේ. කහ හිරි දණ්‌ඩන් විශේෂයෙන් හමුවනුයේ ගංගාවේ ඉවුරු අසබඩ වීම විශේෂිතය. මත්ස්‍යයන් අතරින් විශේෂ 18 පමණ හමුවන අතර ඉන් විශේෂ 2 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස සැලකේ. එමෙන්ම ශ්රීහ ලංකාවට හඳුන්වා දුන් මත්ස්යඩ විශේෂ ද පවතී. ආවේණික මත්ස්යි විශේෂ අතුරින් ශ්‍රි ලංකා ගඩයා නොහොත් කොළ ගඩයා වාර්තාවෙන එකම වාසස්‌ථානය මෙම කුඩා ප්‍රදේශය වීම ද සුවිශේෂි කරුණකි. ශ්‍රී ලංකා කොළ ගඩයා ඉංග්‍රීසි බසින් Green Labceo ලෙස හඳුන්වයි.
2007 ශ්‍රී ලංකා රතු දත්ත පොතට අනුව දැඩි ලෙස අන්තරායක තත්වයට ලක්‌ වූ විශේෂයකි. ලෝක රතු දත්ත පොතට අනුව අන්තරායක තත්වයට ලක්‌ වූ විශේෂයක්‌ ලෙසට 2011 දී හඳුන්වා දී ඇත. මෙතෙක්‌ පලවූ ලිඛිත වාර්තා වලට අනුව තව දුරටත් මෙම විශේෂය සමහරවිට වඳවී ගිය විශේෂයක්‌ ලෙසටද හඳුන්වා දී ඇත. මහවැලි නදියේ අධික ලෙස වේගයෙන් ජලය ගලා යන ගල් තලා සහිත ප්රතදේශවල පත්ලේ මෙම මත්ස්‍යයන් ජීවත් වේ. මහනුවර මැද ඇළ නිසා දූෂණයට ලක්‌වන ජලය රසායනිකව හා භෞතිකව ඔක්‌සිජන් හා එක්‌ වී වෙනස්‌ කම් වලට භාජනන වීම සිදු වන්නේද වේගයෙන් ජලය ගලා බස්‌නා මෙම ප්‍රදේශය ආශ්‍රිතව පමණි. ඒ අනුව බලන විට මහවැලි ගඟේ සංයුතිය පාලනය කරන මෙම ප්‍රදේශය නිසා ජෛව විවිධත්වයට ගෙන දෙන දායකත්වය මිල කළ නොහැක.

වාර්තාවන අපෘෂ්ඨ වංශී සත්ව කාණ්‌ඩ අතරින් මුළු සමනලයන් සංඛ්යාවව 42 වන අතර ඉන් එක්‌ විශේෂයක්‌ ශ්‍රී ලංකාවට ආවේණික වේ. භෞමික ගොලුබෙල්ලන් 17 වාර්තා වන අතර ඉන් විශේෂ 12 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වීම තවත් සුවිශේෂීතාවකි.